මහින්දපුර සමගි ධර්මවිජය මනුසත් සමාජය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය.

මහින්දපුර ගම තිරිකුණාමලයේ, මුතුර් නගරයේ සිට කිලෝමිටර් 7 ක් පමණ දුරින් පිහිටි සෝමවති පාරට මුහුණලා ඇති කුඩා තනිවූ ගමකි. මෙම ගමට අවශ්‍ය මූලික පහසුකම් බොහොමයක් නැති නිසා, දරිද්‍රතාවයෙන් පෙළෙන ගම්වාසින්ගේ ජීවන තත්ත්වය නගාලීමේ අරමුණෙන් මෙම ගම සංවර්ධනය කිරීම සඳහා තෝරාගතිමු.
මෙම ගමේ ජීවත්වන පාසල් යන ළමුන්ට කිලෝ මීටර් 3 1/2 පමණ දුර පිහිටා ඇති පාසලට යෑමට බස් සේවයක්වත් නැත. සෑම පවුලක්ම වගේ ගොවිතැන් සහ එළවලු වගාවෙන් තම ජීවිතය රැකගනිති. එහෙත් ඔවුන්ට ඒ සදහා අවශ්‍ය මූලික අවශ්‍යතාව වූ ජලය නැති කම ඒ සදහා බාධකයක් වී ඇත. එහෙයින් ඊසාන දිග මෝසම් වර්ෂාව ආධාරයෙන් පමණක් ඔවුහු ගොවිතැන්හි නියැළෙති. මේ නිසාවෙන් ඔවුන්ගේ ආදායම සිමා වී ඇත.
ධර්මවිජය පදනමේ අරමුණු වන ආර්ථික, සෞඛ්‍යය, අධ්‍යාපන, සහ සදාචාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ධර්මවිජය සමාජයක් පිහිටුවා සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. එහි පවුල් 71 කින් සැදුම්ලත් සාමාජිකත්වයක් ඇත. ඔවුන්ගේ වගා දියුණුව සඳහා වගා ළිං 6ක්ද, වැසිකිලි නැති පවුල් 29ක් සඳහා වැසිකිලිද, ස්වයං රැකියා කරන අයට උපකරණ සඳහා ආධාරද, පාසල් ළමුන් සඳහා ශිෂ්‍යත්ව ආධාර ලබා දීමට හා දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමටද සැලසුම් කර ඇත. ඒ අතුරින් වැසිකිලි හය සාදා නිම කර ඇති අතර අඩි 20ක් පළල වගා ළිං දෙකක් නිම කිරිමේ අවසන් අදියරේ පවතී. ස්වයං රැකියා දියුණුකර ගැනීම සඳහා දෙදෙනකුට ආධාර කර ඇති අතර දහම් පාසල් ගොඩනැගිල්ල ඉදි කරමින් පවතී.
දැනට පවතින ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් ඡායාරූප සමග විස්තරාත්මකව දක්වා ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ධර්මවිජය පදනම හා එක්වූ පින්වත් දානපතින් කීපදෙනා විසින් දෙන ලද මුල්‍යමය ආධාරය විශාල ශක්තියක් විය.
ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා පින්වත් දානපති ඔබ සැමගේ ආධාරය ලැබේ නම් මෙම ව්‍යාපෘතිය නොපමාව නිම කර ගැනීමට හැකිවනු ඇත.

2022-10-26 දින දක්වා තිරිකුණාමලය සේරුනුවර, මහින්දපුර සමගි ධර්මවිජය මනුසත් සමාජ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය.

1. විහාරස්ථානයේ වැසිකිලි පහසුකම් සහිත නාන කාමරය අලුත්වැඩියා කිරීම.

ශ්‍රි ලංකාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා සඳහා වැසිකිලි පහසුකම් සහිත නාන කාමරය අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා 2022/02/10 දින නිකුත් කළ රුපියල් ලක්ෂයක මුදලින් එම වැසිකිලි පහසුකම් සහිත නාන කාමරය පහත සදහන් අයුරු සාදා නිමකළ බව ස්වාමීන් වහන්සේ වාර්තා කර ඇත. එහි ඡායාරූප පහත දැක්වේ.

2. දහම් පාසල් ගෙඩනැගිල්ල පුළුල් කිරීම

විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ඉඩකඩ ඇතිවන පරිදි, තවත් අඩි 30ක ප‍්‍රමාණයකින් දීර්ඝ කර ඉදිකිරීම සදහා ලබා දුන් රු. 235,000.00 ක මුදල යටතේ ඉදිවෙමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ප්‍රගතිය පහත දැක්වේ.

3. බ්ලොක් ගල් නිෂ්පාදන මැසිමක් සදහා අච්චුවක් වෙනුවෙන් මූල්‍ය සහාය ලබාදීම

බ්ලොක් ගල් කර්මාන්තයේ යෙදී සිටින ආශා සමන්මලි මහත්මියට 2022/05/13 දින ලබාදෙන ලද රුපියල් 20,000.00ක මුදලත් ඉතිරි මුදල් සදහා ඇයගේ පෞද්ගලික මුදලුත් යොදා ගනිමින් අඟල් 14 x 7 x 4 ප්‍රමාණයේ අච්චුවක් සාදා ගෙන ඇත.

4. රසකැවිලි අලෙවි ජංගම කරත්තයක් සාදා ගැනීම සදහා මූල්‍ය සහාය

ධර්මවිජය සමාජ සාමාජිකා නිලන්ති සංජීවනී මහත්මියට 2022/05/13 දින ලබාදෙන ලද රුපියල් 40,000.00 ක මුදලින් මේවන විට රසකැවිලි අලෙවි ජංගම කරත්තය සාදා ගැනීමේ කාර්යයේ යෙදෙමින් සිටී.

5. වගා ව්‍යාපෘතිය

ගම්වාසීන් විසින් කෘෂිකර්ම උපදේශකගේ උපදෙස් අනුව පරි‌භෝජනය වැඩි ඉල්ලුමක් ඇති, පහසු වෙන් වගා කරගෙන යාහැකි වගාවක් වන නයි මිරිස් වගා කිරීමට ආධාර ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. ඒ අනුව නයි මිරිස් පැළ 250ක් ගම්වැසියන් 25 දෙනෙකු අතර 2022/06/22 දින බෙදා දෙන ලදී.
පැල බෙදා දෙන අවස්ථාවේ ලබාගත් ඡායාරූප මෙහි දැක්වේ.

6. වැසිකිළි ඉදිකිරීමේ ව්‍යාපෘතිය

ව්‍යාපෘතිය සැලැසුමට අනුව දී වැසිකිලි 29 ක් සාදා නිම කිරීමට ආධාර ලබා දීමට සැළසුම් කළ අතර එහි පළමු පියවර ලෙස වැසිකිලි 6 ක් සාදා නිම කිරීමට අවශ්‍ය අවශ්‍ය මූලික ආධාර ලබා දෙන ලදී. එම වැසිකිලි හය සාදා නිම කර ඇත.
වැඩ නිම කළ වැසිකිලිවල ඡායාරූප පහත දැක්වේ.

7. අධ්‍යාපන ආධාර පිරිනැමීම

සේරුනුවර මහින්දපුර සමගි ධර්මවිජය සමාජයේ සාමාජික සාමාජිකාවන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම ජුනි මස සිට ආරම්භ විය. ඒ යටතේ මහින්දපුරවාසී දරු දැරියන් 14 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ආධාර ලබා දී ඇත.
ශිෂ්‍යත්ව ආධාර ලබා දුන් අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

8. වගා ළිං ව්‍යාපෘතිය

ව්‍යාපෘතිය යට‌ෙත් දී වගා ළිං 6 ක් සාදා නිම කිරීමට ආධාර ලබා දීමට සැළසුම් කළ අතර එහි පළමු පියවර ලෙස වගා ළිං 2 ක් සාදා නිම කිරීමට අවශ්‍ය මූලික ආධාර ලබා දෙන ලදී. ඉදි කරගෙන යන වගා ළිං දෙකෙහි ඡායාරූප පහත දැක්වේ.