“ළදරු ගුරු සෙවණ”පෙර පාසල් ව්‍යාපෘතිය.

පෙර පාසලින් “බොදු දරුවා” බිහි කිරීම

ධර්මවිජය පදනම ක්‍රියාත්මක කරන ජාතික වැදගත්කමක් ගන්නා තවත් ව්‍යාපෘතියක් වන්නේ ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථාන ආශ්‍රිතව පෙර පාසල් පිහිටුවීමට ආධාර කිරීම හා සංවර්ධනය කිරීමට ආධාර කිරීම ය.

පූර්ව ළමාවිය වශයෙන් හඳුන්වන පෙර පාසලේ ගත කරන වයස අවුරුදු 3-4 දෑවුරුද්ද දරුවාගේ අනාගත චරිත සංවර්ධනයට ප්‍රබල බලපෑමක් සිදු කරයි.  පෙර පාසල් ගුරුතුමිය හා ප්‍රාථමික පාසලේ ගුරුතුමියන් ළදරුවන්ගේ වීරවරියෝය.  පෙර පාසල් සංකල්පය බටහිර රටවල හැදී වැඩී මෙරටට පැමිණීමට පෙර දරුවන් අවුරුදු 5 ක් වැඩුනේ පුබ්බාචරියන් වූ මව්පියන් හා නිවසේම සිටින සීයා,  ආච්චිඅම්මා, නැන්දා, පුංචි අම්මා අතරේය.  ඔවුන් අප රටේ සංස්කෘතියට අනුව එම දරුවන් හැඩගැන්වූ ගුරුවරුය.  එහෙත් බටහිර සංකල්ප අනුව ඇති වු පෙර පාසල් ක්‍රමයෙන් දරුවා සකස් කෙරුනේ අපේ සංස්කෘතික ආභාෂය වෙනුවට ආගන්තුක පරිසරයකය.  මෙම තත්ත්වය වෙනස් කිරීමට පන්සල් ආශ්‍රිතව පෙර පාසල් ආරම්භ කිරීමට ධර්මවිජය පදනම උනන්දු කරනු ලැබේ.

එම පෙර පාසල් මගින් උත්සාහ ගනු ලබන්නේ සම්ප්‍රදායික පෙර පාසල් රටාවට “බෞද්ධ පෙර පාසල් දරුවා සංකල්පය” ඇතුළත් කිරීමෙන් සදාචාරවත් දැහැමි පුරවැසියකු බිහි කිරීමට පදනම දැමීමටය.  ඒ සඳහා අපගේ බෞද්ධ හා සංස්කෘතික පරිසරයක පෙර පාසල් දරුවාගේ අවුරුදු 2 හැඩගැන්වීම කළ යුතු බව ධර්මවිජය පදනම තීරණය කර එම අරමුණ ඉටුකර ගැනීම සඳහා පෙර පාසල් ගුරුවරියන් පුහුණු කිරීමේ විශේෂ පුහුණු පාඨමාලාවක් ක්‍රියාත්මක වේ.

මෙම පාසල් පිහිටා තිබෙන්නේ අඩුආදායම්ලාභීන් සිටින දුෂ්කර ගම්වලය.  ඒවායේ දෙමව්පියන්ට හෝ දායකයින්ට හෝ මෙම පාසල්වල අවශ්‍යතා ලබාදීමට වත්කම් නැත. ධර්මවිජය පදනම විසින් ඇතැම් පෙර පාසල් සඳහා පොත්පත් උපකරණ ආදිය ප්‍රදානය කළ ද ඒ සදහා ප්‍රමාණවත් අරමුදල් නැත.  එබැවින් මෙම පෙර පාසල්වල සිටින ළදරුවනට සතුටින් ඉගෙන ගැනීමට අතහිත දීමට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරමු.

ඔබට දායක විය හැකි ආකාරය

“බෞද්ධ පෙර පාසල් දරුවා” විශේෂ පෙර පාසල් ගුරු පුහුණුව, එක කණ්ඩායමකට පෙර පාසල් ගුරුවරියන් 15 ක කණ්ඩායමක් කැඳවා නොමිලේ විධිමත් පුහුණුවක් ලබා දීම, නවාතැන් හා ආහාරපාන ලබාදීම  බස් ගාස්තු ගෙවීම ධර්මවිජය පදනම මගින් සිදු කරනු ලැබේ, එක් කණ්ඩායමක් සඳහා දින දෙකක පුහුණුවක් ලබාදී ගුරු අත්පොත් හා ළමා පොත් කට්ටලයක් බැගින් පරිත්‍යාග කිරීම, ඊට අමතරව ක්‍රීඩාව උපකරණ පරිත්‍යාග කිරීම සිදුවේ. අනාගත පරපුර සදාචාරාත්මකව වර්ධනය කිරීමේ ආරම්භක ස්ථානය වූ පෙර පාසල් අධ්‍යාපනය දිගුකාලීන වශයෙන් සැලකූ විට අපේ රටේ අනාගතය සඳහා ආයෝජනයකි. මෙවැනි කණ්ඩායම් පුහුණු කිරීම් සඳහා දළ වශයෙන් රුපියල් 75,000 ක් පමණ වියදම් වේ. දානපතියන්ගේ සහාය ලබාගත හැකි වන්නේ නම් මෙම ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කර ගත හැක.

ශ්‍රී ලංකාව සුවඳ හමනා මල් උයනක් කරමු