දහම් පාසල් සංවර්ධන වැඩසටහන.

සාරධර්ම පිරි සමාජයක් බිහි කිරීමට නම් ළමාවියේ සිට දහම් අධ්‍යාපනය ආරම්භ කළ යුතු හෙයින් දහම් පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ  “ධර්මවිජය සමාජ” වැඩසටහන මේ වනවිට විවිධ හේතු නිසා අකර්මන්‍ය වී ඇති හෙයින් ද ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථාන 468 හි ඇති දහම් පාසල් මුල්කරගෙන දහම් පාසල් ගුරුවරුන් හා දහම් පාසල් දරුවන් හා විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම වැඩ සටහන සිදු කිරීමට යෝජිතය.

මෙම දහම් පාසල් 468 හි අවම වශයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේ හැර දහම් පාසල් ගුරුවරු 4-5 ක් (468×4-5 = 1872 / 2340) හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100-200 ක් (468×100-200 = 46800 / 93600) සිටිති. අවම වශයෙන් සිසුන් 30,000 සිටින බව සිතමු. සාරධර්ම වර්ධනය සඳහා මේ පිරිස මූලික කරගත්තේ නම් එය පළමු පෙලේ ව්‍යාපෘතියකි.

ධර්මවිජය පදනමේ කාර්යභාරය

  • දහම් පාසල් පොත්පත්, පුස්තකාල පොත්පත්, පුස්තකාල කබඞ් ආදිය ලබාදීම. ශිෂ්‍ය ශිෂ්‍යාවන් කියවීමට යොමු කිරීම
  • දහම් පාසලට අවශ්‍ය අඩුපාඩු සැපිරීම (බංකු, ඩෙස්, කළු ලෑලි, ගුරුපුටු, ගුරු මේස, පැදුරු ආදිය)
  • දහම් පාසල් දරුවන් හා ගුරු මණ්ඩලය ධර්මවිජය පදනමේ ලියාපදිංචි කරගෙන, ලියාපදිංචි අංකයක් දී, විභාගවලින් ලබාගන්නා ලකුණු පරිගණකගත කර ප්‍රරගති සමාලෝචනය කිරීම හා අධීක්ෂණය. ඒ අනුව දහම් පාසල් සඳහා උපදේශනය.
  • දහම් පාසල් ගුරුවරුන්ට ධර්මවිජය පදනමේ සහභාගිත්වයෙන් හැඳුනුම්පතක් ලබාදීම.
  • වර්ෂ අවසාන විභාගයෙන් සමත් වන දරුවන්ට අදාල දහම් පාසල හා ධර්මවිජය පදනම සහභාගිව සහතිකයක් පිරිනැමීම. විශිෂ්ට දක්ෂතා ඇති දරුවන් ඇගයීම.
  • විශිෂ්ට දක්ෂතා ඇති දරුවන්ගේ එම කුසලතාවන් ධර්මවිජය පදනමේ පුවත්පතෙහි පළ කර එම කුසලතාවන් ඇගයීම.
  • දහම් පාසල් ත්‍යාග උත්සව හා වෙනත් උත්සව පිළිබද වාර්තා, ඡායාරූප ධර්මවිජය පදනම පුවත්පතෙහි පළ කිරීම.
  • දැනට සිදු කරන දහම් පාසල් අවසාන සහතික පත‍්‍ර විභාගයෙන් දිස්ත‍්‍රික්කයේ පළමුවන ස්ථානය හිමි කර ගනිමින් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර විභාගයෙන්ද සමත්ව දිස්ත‍්‍රික්කයේ පළමුවන, දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගන්නා සිසුන් ඇගයීමේ සහතික පත් දීමේ, ත්‍යාග දීමේ ක‍්‍රමය තවත් වැඩිදියුණු කිරීම.  එවැනි දරුවන් බිහිකළ දහම් පාසල් ද ඇගයීමට භාජනය කිරීම.
  • ධර්මවිජය පදනමේ මෙම දහම් පාසල් වැඩසටහන පමණක් අධීක්ෂණය සඳහා පරිගණක පද්ධතියක් පරිගණක ක‍්‍රියාකරු හා ලිපිකරුවකුගේ පූර්ණකාලීන සේවාවක් ඇති කළ යුතුවේ.
  • එම දහම් පාසලේ අධ්‍යාපනය අවසන් කළ දරුවන් අතරින් වෛද්‍ය විද්‍යාලයට/ඉංජිනේරු/නීති/වැනි ක්ෂේත‍්‍රයන්ට තේරී පත්වන දරුවන් ධර්මවිජය පදනමේ ශිෂ්‍යත්ව වැඩසටහනට ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හා අවශ්‍යතා අනුව යොමු කිරීම.
  • උසස් අධ්‍යාපනයට පිවිසිය නොහැකි, වෘත්තීය අධ්‍යාපනයට පිවිසීමට අපේක්ෂා කරන දරුවන් ධර්මවිජය පදනමේ වෘත්තීය පුහුණු වැඩසටහනකට ඔවුන්ගේ ආර්ථික තත්ත්වය හා අනිකුත් අවශ්‍යතා සලකා බලා යොමු කිරීම
  • දහම් පාසල් ගුරු පුහුණුව ප‍්‍රාදේශීය මට්ටමින් පැවැත්වීම.
  • දහම් පාසල් ගුරුවරුන්ට ඇගයීමේ සහතිකයක් (පැමිණීම, දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, කැපවීම) සැලකිල්ලට ගෙන ධර්මවිජය පදනම හා දහම් පාසල එක්ව නිකුත් කිරීම.
  • දහම් පාසල් ජල සම්පාදන හා වැසිකිලි කැසිකිලි සංවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රමුඛතාව අනුව එම පහසුකම් සපුරාලීම.

දහම් පාසලේ කාර්යභාරය

  • දහම් පාසලේ දරුවන්ගේ හා ගුරුවරුන්ගේ විස්තර සපයා ලියාපදිංචි කිරීමේ වැඩසටහනට සහාය වීම.
  • දරුවන්ගේ විභාග ප‍්‍රතිඵල ධර්මවිජය පදනමට ප‍්‍රමාදයකින් තොරව දැක්වීම.
  • දහම් පාසලේ විශේෂ වැඩසටහන් හා තොරතුරු ධර්මවිජය පදනම වෙත දැන්වීම.
  • ධර්මවිජය පදනම හා සම්බන්ධීකරණය සඳහා විහාරාධිපති හිමියන්ට අමතරව, ගුරු භවතුන් දෙදෙනෙකු නම් කර එවීම.
  • ගුණාත්මක වර්ධනය සදහා අවශ්‍ය කරන දෑ හා අඩුපාඩු දන්වා එවීම.
  • ශිෂ්‍ය දැනුම වර්ධනය සඳහා දැනට පවත්නා ක‍්‍රමවේද වලට අමතරව, දැනුම වර්ධන නව ක‍්‍රියාකාරකම් හඳුන්වාදීම හා ඇගයීම
  • දහම් පාසලේ මනා කළමනාකාරිත්වය හා පරිපාලනය සම්බන්ධයෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ හා ගුරු මණ්ඩලයේ අඛණ්ඩ කැපවීම හා උපරිම දායකත්වය.
  • ධර්මවිජය පදනම විසින් වරින්වර සකස් කරන සම්මන්ත‍්‍රණ හා ගුරු පුහුණු වැඩසටහන්වලට සහභාගි වීම
  • ධර්මවිජය පදනම කලින් කල සපයනු ලබන උපදේශන අනුව ක‍්‍රියා කිරීම.

මෙම වැඩ සටහන ආරම්භ කර, අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යෑමට ධර්මවිජය පදනම වශයෙන්, විශේෂයෙන් සංවිධානය විය යුතුවේ.

ධර්මවිජය පදනමේ වෙනම අරමුදලක් යටතේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගත යුතුය.  භාර මුදල්වලින් මේ සදහා ගත හැක්කේ සීමිත කොටසක් වන හෙයින් අවශේෂ මුදල බාහිරින් එක් රැස්කර ගත යුතු වේ.  දළ වශයෙන් ආරම්භක වසරේදී රු. ලක්ෂ 18-20 ක වියදමක්ද, දෙවන වසරේදී රුපියල් ලක්ෂ 15 පමණ වියදමක්ද, ඊට පසු වසරවලදී රුපියල් ලක්ෂ 10 ක් බැගින්ද අවශ්‍ය වේ යැයි උපකල්පනය කළ හැකිය.

වසරකට අවම වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50,000 කගේ පමණ ධර්ම ඥනය වර්ධනය කරදෙන සාරධර්ම පුහුණු කරවූ පුරවැසියන් තනන මෙවැනි ව්‍යාපෘතියක් කුමන මට්ටමකින් ඇගයිය හැකිද? දානපතීන්ගේ නොමසුරු සහාය අඛණ්ඩව ධර්මවිජය පදනමට ලැබේ නම් ධර්මවිජය පදනමට කිසිම බිය සැකයකින් තොරව මෙම වැඩසටහන දියත් කළ හැකිය.