දහම් පාසල් සඳහා පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය.

ධර්මවිජය සමාජ ස්ථාපනය කර ඇති විහාරස්ථානවල දහම් පාසල් සඳහා පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය. කියවීමට පොතක් දී සම්පූර්ණ මිනිසකු සමාජයට දෙමු.

වර්තමාන සිසු දරුවන් අතරින් බොහෝ දෙනෙකුට බාහිර පොත් කියවීමේ පුරුද්ද අත්හැරී ඇත. මෙයට හේතු ඉතා සංකීර්ණය. වර්තමාන විද්‍යුත් මාධ්‍යවල වාණිජ හැසිරීම, විවිධ දැනුම් සම්භාරයක් ලබාදීම සඳහා පාසල්වල උත්තේජනයන් නොමැතිවීම, නිවසට පුවත්පත් නොගැනීම, පාසල් පුස්තකාල කළමනාකරණයේ දුර්වලතා, දරිද්‍රතාවය නිසා දෙමව්පියන්ට පොත්පත් මිලදී ගැනීමට මුදල් වෙන් කිරීමට නොහැකිවීම, නූතන අධ්‍යාපන ක්‍රමය තුළ පාසල් ගුරු පියවරු/මව්වරු අභිබවා උපකාර පන්ති ගුරුවරයා බලවත්වීම,  සටහන් පොත පිළිතුරු පත්‍රයට එපරිද්දෙන්ම ලියා විභාග සමත් ක්‍රමය ප්‍රධාන හේතු වශයෙන් දැක්විය හැකිය. රස විඳීම ඇට්ටකුණා කරන සාහිත්‍ය පාඩම ද ප්‍රධාන හේතුවක් වේ.

මේ තත්ත්වය නිසා අපගේ “සදාචාර අංශයේ” වැඩසටහනක් ලෙස අපට සම්බන්ධ දහම් පාසල්වල පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.  මෙම දහම් පාසල් බොහොමයක් අඩුආදායම්ලාභීන් බහුල ප්‍රදේශවල පිහිටා ඇත.  දැනුම ලබාදීම ප්‍රබල පුණ්‍යකර්මයකි.  ඒ සඳහා තම ධන පරිත්‍යාගයෙන් උපකාර කිරීම තමනට පමණක් නොව තම පරම්පරාවටද විශිෂ්ට ඥාන සම්පත ලැබීමට හේතුවක් වේ.  එනිසා මුදලින් මෙන්ම දරුවන්ට කියවීමට සුදුසු ඔබේ නිවසේ ඇති තවදුරටත්  පරිහරණය කළ හැකි පාවිච්චි කළ පොත් ත්‍යාගයන් ලෙස ලබාදීමෙන් දායක විය හැකිය.

මෙම ව්‍යාපෘතිය මගින් දහම් පාසල් 468 ක දරුවන් ප්‍රතිලාභ ලබති. එම දරුවන් මෙම පොත් කියවීම උත්තේජනයක් ලබාදෙන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු.  අප බලාපොරොත්තු වන ආධාර පහත දැක්වේ. එක් දහම් පාසලක පුස්තකාලයකට පොත් සඳහා රු.5,000 – රු.10,000ක්,  පොත් තැබීමට වානේ අල්මාරියක් රු.15,000 – රු.18,000 ක් පමණ අවශ්‍ය වේ, ඔබටත් මෙම වැඩසටහනට සහභාගි විය හැක. මෙම අයිතම දෙකටම හෝ එකක්   සඳහා ආධාර දිය හැකිය.

දහම් පාසල් මගින් පොත් සහ උපකරණ මිලදී ගැනීම කරයි. ඒ සඳහා අදාළ වෙළඳසැල් මගින් මිල ගණන් ලබාගෙන අප වෙත ඉදිරිපත් කළ පසු මුදල් අදාළ බැංකු ගිණුමට යවනු ලැබේ.  බොහෝ දහම් පාසල් පුස්තකාල පොත් හා පහසුකම් ඉල්ලා සිටියද අවශ්‍ය අරමුදල් නොමැතිකම නිසා එම ඉල්ලීම් ඉටු කර දීමට නොහැකි වී ඇත. මෙයට අමතරව දරුවන්ගේ ආකල්ප වර්ධනය සඳහා මාසිකව පුවරු ලිපියක් එම දහම් පාසල්වලට තැපෑලෙන් යවනු ලැබේ. මාසික වියදම රුපියල් 2500.00 පමණ වේ.

දරුවන්ගේ නැණ පහන් කිරීම සඳහා ඔබත් දායක වන්න.