කොළකැඳ පාවිච්චිය ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය.

සියයට අසූවක් පමණ වන ශ‍්‍රී ලාංකික ජනතාවගෙන් දළ වශයෙන් 60% පමණ අවශ්‍ය පෝෂණ මට්ටමින් පහළ සහ දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත්වන ජන කොටසක් බව ප‍්‍රසිද්ධ සංඛ්‍යාලේඛන වලින් තහවුරු වේ. සෑම දසදෙනෙකුගෙන් අවම වශයෙන් හය දෙනෙක් බෝ නොවන රෝගවලින් පෙළේ, මව්වරු රක්ත හීනතාවයෙන් පෙළේ,  වයස අවුරුදු පහට අඩු බොහෝ දරුවන් නියමිත බර ප‍්‍රමාණයෙන් අඩුය. මන්ද පෝෂණය ඇති දරුවන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව වැඩිවීමේ ප‍්‍රවණතාවක් තිබේ. ජාතික වසංගත තත්ත්වයෙන් හා ස්වාභාවික විපත් නිසා, පවුලේ ආදායම පහතට වැටෙන විට, පෝෂණ අවශ්‍යතාවන් අවශ්‍ය වන්නන්ගේ ප‍්‍රමාණය ඉහළ යමින් පවතී. ඊට යම් පිළියමක් යෙදීමේ අරමුණෙන්, විශේෂයෙන් දහම් පාසල් යන දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින්, කොළකැඳ සැපයීම දිරිගැන්වීමේ ව්‍යාපෘතිය, ධර්මවිජය පදනම විසින් දශක කිහිපයක සිට පවත්වාගෙන යනු ලැබේ.

ධර්මවිජය පදනම හා ලියාපදිංචි දිවයිනේ විවිධ ප‍්‍රදේශවල දැනට පිහිටි ධර්මවිජය සමාජ 468 ක් සමඟ මෙම ව්‍යාපෘතිය සිදු කරමින් සිටී. ධර්මවිජය සමාජ පිහිටුවා ඇති විහාරස්ථානවල දහම් පාසල් පවත්වාගෙන යනු ලබන අතර, අවම ගණනය කිරීමක් කළහොත් සිසුන් 20,000-25,000 අතර ප‍්‍රමාණයක් හා දහම් පාසල් ගුරුවරුන් 2000 පමණද ඊට අමතර දෙමාපියන් සංඛ්‍යාවක් ධර්මවිජය සමාජ දහම් පාසල් සමග බැඳී සිටී. මෙම පිරිස පෝෂණ තත්ත්වය ඉහළ දැමීමට සුදුසු ඉතාමත් යෝග්‍ය වූ ඉලක්කගත කණ්ඩායමයි.

දහම් පාසලකට ප‍්‍රධාන ප‍්‍රශ්නයක්ව ඇත්තේ කොළකැඳ පිළියෙල කර ගැනීම සඳහා මෙවලම් කට්ටලයකට අවශ්‍ය ප‍්‍රාග්ධන මුදල එකවර සපයා ගැනීමයි. ධර්මවිජය පදනම සිදු කරන්නේ කොළකැඳ පිළියෙල කිරීමේ විශාල භාජන, ජෝගු, හැඳි, කෝප්ප ඇතුළත් අංග සම්පූර්ණ කට්ටලයක් දහම් පාසලට සැපයීමයි. දෙමාපියන් හා දහම් පාසල් ගුරුවරු, දින වෙන් කරගෙන කොළකැඳ පිසීම සිදු කරයි. අවශ්‍ය අමුද්‍රව්‍ය ගමෙන් ලබාගත හැකිය. කොළකැඳ පානය නිසා දරුවන්ගේ බර වැඩිවීම හා පෝෂණය ඉහළ නැංවීම, රාජ්‍ය ආයතන මගින් කළ පර්යේෂණවලින් සනාථ වී ඇත.

දරුවන් 100-150ක් සඳහා කොළකැඳ පිළියෙළ කිරීමට අවශ්‍ය මෙවලම් කට්ටලයක සාමාන්‍ය වියදම රු.7500/-පමණ වේ. එවැනි කුඩා ප‍්‍රාග්ධනයකින් ලබාගත හැකි ආන්තික ප‍්‍රතිඵලය මුදලින් ගණන් බැලීමට අසීරු සෞඛ්‍ය සම්පන්න, රටට වැඩදායි නිරෝගි පුද්ගලයකු රටට බිහිකිරීමයි.

මෙවැනි කාර්යයකට සහභාගි වී ලබා ගන්නා කුසලය ප‍්‍රමාණ කළ නොහැකිය. සත්ගුණවත් දානපතීන්ගේ නොමසුරු සහයෝගය ලැබේ නම් මෙම ව්‍යාපෘතිය, දැනට වඩා විශාල ප‍්‍රමාණයකින් ධර්මවිජය පදනමට ක‍්‍රියාත්මක කළ හැකිය.  එවැනි දානපතීන්ගේ නොමඳ සහාය ධර්මවිජය පදනම අපේක්ෂා කරයි.