දහම් පාසල් සඳහා සනීපාරක්ෂක වැසිකිලි පද්ධති ඉදිකිරීම.

විහාරස්ථාන 468 ක අවම වශයෙන් දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20,000 වඩා අධ්‍යාපනය ලබන හෙයින් ඔවුන් හා ගුරු මණ්ඩලයේ අවශ්‍යතා සදහා බීමට ජලය හා සනීපාරක්ෂක වැසිකිළි පද්ධති ඉදිකර දිය යුතුව ඇත. බොහෝ ගම්බද විහාරස්ථානවල මෙම පහසුකම් එක්කෝ නොමැත නැත්නම් ප‍්‍රමාණවත් තරමින් නොමැත.  බොහෝ ස්ථානවල තිබෙන පහසුකම් කැඞී බිදී විනාශ වී ගොස් නඩත්තු කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

විහාරස්ථානයක පූජ්‍ය පක්ෂයේ පාවිච්චියට යොදා ගෙන ඇති, ජල පහසුකම් හා සනීපාරක්ෂක වැසිකිලි කැසිකිලි ගිහි භවතුන්ගේ පාවිච්චිය සඳහා යෙදවිය නොහැක.  එය දහම් පරියායට එකඟ නොවන්නක්ද වේ.

මෙවැනි මූලික පහසුකම් දහම් පාසලක නොමැති වීම, දරුවන් දහම් පාසලට ගෙන්වා ගැනීමටද බාධාවක් වී ඇත.   විශේෂයෙන් වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ගුරු භවතුන් මහත් අපහසුතාවයට පත් වේ.

ධර්මවිජය පදනම විසින් ඉඳිකර දෙනු ලබන වැසිකිලි පද්ධතියක සටහනක් මෙහි දක්වා තිබේ. මෙවැනි වැසිකිලි පද්ධතියක් දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවේ ප‍්‍රමාණය අනුව අඩු/වැඩි කළ හැකිය.

දහම් පාසල් ප‍්‍රවර්ධනයට සහාය වීමක් මෙන්ම සෞඛ්‍ය දානමය පුණ්‍යකර්මයක් ද වේ.  මේ ව්‍යාපෘතියට මූල්‍යමය දායකත්වය ලබාදෙන මෙන් ධර්මවිජය පදනම ඉල්ලා සිටී. පිරිමි ගැහැණු වැසිකිලි කාමර දෙකක් සහිත පද්ධතියක් ඉදිකිරීමේ දළ වියදම රුපියල් 250,000.00 පමණ වේ.  දානපති සත්පුරුෂයන්ට මේ සඳහා කොටස් වශයෙන් වුව  දායක විය හැකි ය.

අද අප භුක්තිවිදින සනීපාරක්ෂක පහසුකමක් වේනම් එය අප පෙර භවයක කළ කුසල කර්මයන්ගෙන් ලද භාග්‍යයකි.