ආර්ථිකව බලගැන්වීම සඳහා පැල ලබාදීම.

වෙළඳපොලේ වැඩි මිලක් ලබාගත හැකි බෝග වගා කිරීම සඳහා තෝරාගත් ගම්වල කෘෂි ජනතාව උනන්දු කිරීමත්,  ඔවුන්ට තාක්ෂණික තොරතුරු ලබාදී පුහුණුවක් සපයා,  සමීප අධීක්ෂණයක් යටතේ වගාවට මෙහෙයවීමත් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.  අවශ්‍ය තාක්ෂණික උපදෙස් හා මඟපෙන්වීමට ප‍්‍රදේශයේ කෘෂි නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා නිසාත් එම ආයතන සමග බද්ධ කෙරෙන නිසාත් මෙම ව්‍යාපෘතිය තිරසාර එකකි.

ඒඒ ප‍්‍රදේශයේ පස, දේශගුණික කරුණු හා වගා රටාවන් අනුව මෙම ව්‍යාපෘතියේ ස්වභාවය වෙනස් වන නිසා, දැනට ධර්මවිජය පදනම විසින් සිදු කෙරෙමින් සිටින සැබෑ ව්‍යාපෘති කිහිපයක විස්තර උදාහරණ වශයෙන් දක්වමින්, මෙම ව්‍යාපෘතිය විස්තර කිරීම සුදුසුම ප‍්‍රවේශයක් ලෙස පෙනේ.

තබ්බෝව-පැනසිහගම, “ග‍්‍රාමීය සංවර්ධනය” යටතේ පූර්ණ සංවර්ධනයක් කරා යොමු කිරීමේ එක් අංගයක් වූයේ, මහින්දාරාම ධර්මවිජය සමාජයේ සාමාජිකයන් අතරින්, වගාවට කැමති, වගාවට ඉඩකඩ තිබෙන පිරිසක් සමීක්ෂණයකින් තෝරාගෙන එම ප‍්‍රදේශයට නිර්දේශ කර ඇති දොඩම් පැල,දෙලුම් පැල හා අඹ පැල සපයා කෘෂිකර්ම නිලධාරීගේ තාක්ෂණික උපදේශ මත වගාව ආරම්භ කිරීමයි. භූගෝලීය හා අලි උවදුර වැනි කරුණු මත එම වගාවන් එම ප‍්‍රදේශයට නිර්දේශිතයි. ප‍්‍රතිග‍්‍රාහකගේ දායකත්වය වශයෙන් සෑම පැලයක් සඳහා ධර්මවිජය සමාජයට රු.50/- බැගින් අයකර, දොඩම් පැලයක් රු.200/- බැගින්ද අඹ පැලයක් රු.250/- බැගින්ද වූ සහන මිලකට පැල ලබා දුනි.  සාමාජිකත්වය අතරින් 18 දෙනෙකු පැල ලබාගත්හ.  වසර තුනක් පමණ ගතවන විට ආදායම් ලැබීම ඇරඹේ.

වව්නියාව නාමල්ගම හි ගොවියන්ගේ යෝජනාව වූයේ වෙළදපලේ ඉහළ මිලක් ගන්නා තුඹ කරවිල වගාව සඳහා ධර්මවිජය පදනමෙන් ආධාර පැතීමයි.  වගාවට ඉඩකඩ තිබෙන, ක‍්‍රමානුකූල වගාවක් කළහැකි පළපුරුද්ද ඇති ගොවීන් 25 ක් තෝරාගෙන තුඹ කරවිල පැලයක් රු.15/- බැගින් මිලදී ගෙන පැල 250 ක් බෙදා හැරීමත්, ප‍්‍රදේශයේ කෘෂි නිලධාරී මගින් වගා උපදෙස් ලබාදීමත් සිදුකෙරිණි.  මෙම ගොවීන් සියලු දෙනාම ධර්මවිජය සමාජයේ සාමාජිකයින්ය. කිලෝවක් රු.450/- පමණින් වෙළදපලේ අලෙවි වන තුඹ කරවිල වගාවෙන් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වේ.

සඳමල්එළිය යශෝධරා ධර්මවිජය සමාජයේ ගොවීන් වෙළදපලේ ඉතාමත් ඉහළ මිලකට අලෙවි කළ හැකි සම්ප‍්‍රදායික වී වගාව තෝරාගත් හෙයින් පළමුව බීජ සැපයීමේ සිට කෘෂි උපදේශ සහිතව අක්කර 75 ක් ගොවීන් විසින් වගා කරනු ලබයි.  රසායනික පොහොර භාවිතයෙන් තොරය.  වැව ප‍්‍රතිසංස්කරණය කරදීම,  වී කොටන මෝලක් සවිකිරීම,  සහල් පැකට් කර සුපිරි වෙළඳසැල්වලට අලෙවියට යොමු කිරීම සිදුවිය.  ඔවුන් ක‍්‍රමයෙන් මුළු වෙල්යායම සම්ප‍්‍රදායික වී වගාවට යොදා ගනිමින් සිටී.

මෙවැනි කෘෂිකාර්මික කටයුතු මගින් ප‍්‍රතිලාභීන් ආර්ථිකව සවිබලගැන්වීමේ වැඩ සටහන් ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල එක් අංගයක් ලෙස ක‍්‍රියාත්මක වේ.  ව්‍යාපෘතියේ ස්වභාවය අනුව වෙනස් වුවත්,  සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 5 ක පමණ මූලධනයක් යෙදවීමෙන් තෝරාගත් ගම්වල ආර්ථික සවිබල ගැන්වීමේ වැඩ සටහන් ක‍්‍රියාත්මක කළ හැකිය.

ග‍්‍රාමීය මට්ටමින් මෙවැනි ව්‍යාපෘති ඇරඹීම සඳහා යෝජනා විවිධ ධර්මවිජය සමාජවලින් ඉදිරිපත් වුවත්, සීමිත අරමුදල් නිසා ධර්මවිජය පදනමට භාරගත හැකිවන්නේ සුළු ප‍්‍රමාණයකි.  ජන ජීවිතය ඉහළ නංවන මෙවැනි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට සැදැහැති පරිත්‍යාගශීලින්ගේ නොමඳ සහාය ධර්මවිජය පදනම අපේක්ෂා කරයි.

අද ලෝකයේ ලක්ෂ ගානක් වූ අපේම සහෝදර සහෝදරියන්, ළමුන්, වයස්ගත වූවන් දැඩි දරිද්‍රතාවෙන් කුසට අහරක් ඉල්ලා බැගෑපත් වෙද්දී, අද ඔබට ඔවුන්ට සහනයක් සැලසීමට හැකි වී  ඇත්තේ  අන් කිසිවක් නිසා නොව ඔබගේ දානමය කුසල් ශක්තිය නිසාවෙනි.