ස්වභාවික විපතකදී  ආහාර මළු බෙදාහැරීමේ වැඩසටහන.

වාර්ෂිකව ඇතිවන දීර්ඝ වියළි දේශගුණය නිසාවෙන් ගංගා ඇළ දොළ වැව් ළිං සිඳී ගොස් වගා කරමින් සිටී බෝග වගාවන් හා කුඹුරු විනාශයට පත්වීම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වාර්ෂිකව සිදුවේ. මෙවැනි අවස්ථාවල පළමුවෙන්ම අනතුරුට පත් වන්නේ අසරණ ගොවි පවුල් සහ අඩු ආදායම්ලාභී දරු පවුල් ය. ස්වභාවයෙන්ම මෙම ජනතාවට යැපීමට සිදු වන්නේ දෛනිකව උපයාගන්නා කුලියකින් හෝ එදිනෙදාට පිරිමසා ගන්නා  මුදල්වලින් හා ද්‍රව්‍ය වලින් ය. එහෙත් දීර්ඝ කාලීන නියං තත්වයක් වැනි පීඩාවක් දරා ගැනීමේ ශක්තියක් ඔවුන්ට නැත. දෛනික ආහාරය තමන්ගේම වගාවෙන් ම පිරිමසා ගන්නා ඔවුන්ගේ ජීවිතය රැක දෙන්නේ වගාවට ලැබෙන ජලය නිසා ය. ජලය හිදී ගිය විට ඔවුන්ගේ පවුල් ජීවිතය ද සිඳී යයි.

මෙවැනිම විනාශයක් මෝසම් සහ අන්තර් මෝසම් කාලයන්ගේ තදබල වර්ෂාව සහ සුළි කුණාටු වැනි ව්‍යසන නිසා ඇතිවන  හදිසි ජල ගැලීම් හේතුවෙන් ඇතිවේ. මෙය වියළි සහ තෙත් කලාප දෙකටම පොදුය. එවැනි ගංවතුර තත්ත්වයන් අවසන් වන්නේ පවුල් දහස් ගණනක් තාවකාලික නැවතුම්පලවල්වල සති ගණනක් කොටු කර තැබීමෙනි. එවන් අවස්ථාවල පාසල් දරුවන්ගේ පොතපත පවා ඔවුන්ට අහිමි වේ.

අඛණ්ඩ තද වැසි පවතින කාලවල ඇතිවන තවත් භයානක ව්‍යසනයක් නම් විශාල ප්‍රදේශයක් ගෙවල් පිටින්ම නායයෑමට භාජනය වීමයි. වර්තමානය වන විට විවිධ හේතූන් මත වාර්ෂිකව සිදුවන  නායයෑම් ප්‍රමාණය අධික වී ඇත.  මෙවැනි ස්වභාවික විපත් නිසා නිවාස ඉඩම්, දේපල, වගාවන්, ගෘහ භාණ්ඩ,  සතුන් මේ ආදී සියලු වත්කම්  ආපදාවට ගොදුරු වූවන්ට අහිමිවේ.

රාජ්‍ය හා විවිධ සොයුරු සංවිධාන බෞද්ධ හා වෙනත් ආගමික ස්ථාන සමිති සමාගම් හා බොහෝ ආයතන විපතට පත්වූවන්ට විවිධාකාරයෙන් උපකාර කිරීමට මැදිහත්වීම ශ්‍රී ලාංකික සංස්කෘතියේ ම කිඳා බැස ඇති ධර්මතාවයකි.

ධර්මවිජය පදනම ස්වභාවික විපත්වලදී ජාතික වැඩසටහන් වලට සහ සහභාගීවීම,  වියලි ආහාර මලු බෙදාදීම පානීය ජල බෝතල්, පොත්පත්, පාසල් උපකරණ, නව ඇඳුම් (පාවිච්චි නොකළ ඇඳුම්) ආදිය එවැනි විපතට පත් ප්‍රදේශවලට ගෙන ගොස් ප්‍රදේශයේ විහාරස්ථානයේ සහායෙන් බෙදාහැරීම් දිගටම පවත්වාගෙන එන වැඩ සටහනකි. පවත්නා මිල ගණන් අනුව දින කිහිපයකට ප්‍රමාණවත් ආහාර මල්ලක් සඳහා රුපියල්  තුන්දාහක් පමණ වැය වේ.  විපතට පත් ධර්මවිජය සමාජය කෙරෙහි අවධානය යොමු කිරීම විශේෂයෙන් සිදු කරයි.

ස්වභාවික හේතූන් මත විපතට පත්වූවන්ට පිහිටවීම හදිසියේම පැනනගින කරුණක් හෙයින් කල්තබා භාණ්ඩ රැස් කර තබා ගැනීම සෑම විපත් අවස්ථාවකම විපතට පත්වූවන්ට සහනන සැලසීම  සඳහා ඔබගේ සහභාගිත්වය ධර්මවිජය පදනම වෙත ආධාරයන් හා පරිත්‍යාගයන් මගින් සිදු කළ හැකිය. කරුණාකර පහත දැක්වෙන අංක මගින් 0112698870 හෝ විද්‍යුත් ලිපිනයට dharmavijaya.lk@gmail.com විමසීමට කාරුණිකවන්න.