පානීය ජලය සැපයීමට ජල පිරිපහදු ඒකක පිහිටුවීම.

ශ්‍රී ලංකාවේ විශේෂයෙන් වයඹ,  උතුරු,  උතුරු මැද,  පොළොන්නරුව,  නැගෙනහිර පළාත් සිසාරා වාර්තා වන වකුගඩු රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වේ.  මීට හේතුව වශයෙන් හැඳිනගෙන ඇත්තේ බීමට ගන්නා ජල මූලාශ්‍රවල ශරීරයට අහිතකර අපවිත්‍ර දෑ,  රසායනික ද්‍රව්‍ය,  ඛනිජ ද්‍රව්‍ය ඇතුළත්ව තිබීමයි.  එලෙස ජලය අපවිත්‍රවීමට හේතු ගණනාවක් හඳුනාගෙන ඇති අතර වර්තමානයේ බෙහෙවින් සාකච්ඡාවට භාජනය වී ඇත්තේ ප්‍රමිතියෙන් තොරව කෘෂි පොහොර හා කෘමිනාශක භාවිතය ප්‍රබල හේතුවක් බවය. අපවිත්‍ර වීමට හේතු වන මුලාශ්‍ර ගවේෂණය කිරීම,  පර්යේෂණ කිරීම සිදුවන අතරේ එහි ජනතාවට වසවිසෙන් තොර පිරිසිදු ජලය බීමට හා පිසීමට ලබාදීම සහතික කරන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛත්වය දිය යුතු කාර්යයන් හෙයින් ධර්මවිජය පදනම ජල පිරිපහදු කරන මධ්‍යස්ථාන පිහිටුවීම,  පිරිසිදු ජලය බෙදා හැරීමට නිවාස දෙකක් සදහා ගැලුම් 20,000 ජල ටැංකි ස්ථාපනය කිරීමේ වැඩ සටහන ආරම්භ කරන ලදී.

ජල පිරිපහදු මධ්‍යස්ථාන පිහිටුවීම

ගම්වල පවුල් 200-300 පිරිසිදු ජලය ලබාදීම සදහා විදුලි බලෙන් ක්‍රියා කරන ජල පිරිපහදු ඒකක ප්‍රසිද්ධ ස්ථානවල (විහාරස්ථාන භූමිය,  පාසල් භූමිය, ප්‍රජා ශාලා භූමිය) ධර්මවිජය පදනම විසින් ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.

එම පිරිපහදු ඒකකයක්,  ස්ථිර ගොඩනැගිල්ලකින්,  පිරිපහදු යන්ත්‍රෝපකරණවලින්,  ජල ටැංකි, පොම්පාගාර හා ජල සැපයුම් ලිඳකින් සමන්විත ය.  විදුලි බලයෙන් ක්‍රියා කරන පිරිපහදු මධ්‍යස්ථානය කිසියම් සංවිධානයක් විසින් පාලනය කරනු ලබයි.  ධර්මවිජය සමාජය එම වගකීම දරන අතර සමහර ස්ථානවලදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහාය,  ඉදිකිරිම් කටයුතුවලදී හා ජල පිරිපහදු පෙරනයන් මාරු කිරීම වැනි කාර්මික සහාය ලබාදෙනු ලැබේ.

ධර්මවිජය පදනම විසින් දැනට පිහිටුවා ඇති පිරිපහදු මධ්‍යස්ථාන අතරින් ප්‍රධාන වනුයේ මැදිරිගිරිය මැකිච්ඡාව පිරිපහදු මධ්‍යස්ථානය යි. එකක් සදහා දළ වියදම රුපියල් ලක්ෂ 13 – 15 ක් පමණ වේ.

පිහිටුවන එක් එක් ස්ථානය අනුව පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා වැයවන මුදලේ සුළු වෙනස්කම් ඇතත්,  ධර්මවිජය පදනමේ ප‍්‍රායෝගික අත්දැකීම් අනුව එක් මධ්‍යස්ථානයක් සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 13 ක් වැයවේ.  පසුගිය කාලය තුළ ධර්මවිජය පදනම මෙම සත්ක‍්‍රියාව සිදු කරන ලද්දේ නොමසුරු දානපතීන්ගේ මූල්‍යමය දායකත්වය ලබා ගැනීමෙනි. ඊට අමතරව පදනමේ අරමුදල් ද ඊට යෙදවීය.  ප‍්‍රතිලාභි පවුල් අවම වශයෙන් 250 ක් (පුද්ගලයින් 250 x 4 = 1000) විෂ සහිත ජලය පානය කිරීමෙන් ගලවා ගැනීම, මුදලින් මිල කළ නොහැකිය.

වකුගඩු රෝගියකු සුවපත් කිරීමට නිරෝගි වකුගඩුවක් බද්ධ කළ යුතුය. එලෙස ගැලපෙන වකුගඩුවක් සොයාගත නොහැකි රෝගීන් මියයති. වකුගඩු බද්ධ කිරීමට රුපියල් ලක්ෂ ගණනින් වියදම් කළ යුතුය. ඉන් අනතුරුව ජීවිත කාලය තුළ ඖෂධ පාවිච්චි කළ යුතුය. දින කිහිපයකට වරක් වකුගඩු පිරිපහදු කිරීමට වරකට රු.15,000 පමණ වැය වේ. ජීවිත කාලය තුළ ම එය කළ  යුතුය. පවුලක එක් වකුගඩු රෝගියකු ඇතිවුවහොත් මුළු පවුලේම ආර්ථිකය සදාකල් කඩා වැටේ.  පවුලේ අනිකුත් සාමාජිකයින්ද ජීවිත කාලය පුරාවට කඩා වැටේ.  මෙම දරුණු අගාධයෙන් ජනතාව ගොඩ ගැනීමට නම් පිරිසිදු පානීය ජලය ලබාදීම එකම පිළියමයි.

මිනිසත් බව ලැබීමට පෙර කුසලකර්මයක් තිබුනත් පිරිසිදු වතුර ටිකක් පානය කිරීමට නොලැබී මුළු පවුලටම බරක් දී ජීවිතයෙන් සමුගන්නා අපේම සහෝදර සහෝදරියන්ට බීමට පිරිසිදු වතුර පොදක් දීම මොනතරම්  කුසලකර්මයක් දැයි සිතා බලන්න.