සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ “සැනසිලි සුවය”උපදේශන වැඩසටහන.

මේ වනවිට සියදිවි හානිකර ගැනීම් අතින් ලෝකයේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකාව හිමිකර ගෙන ඇත.  විවිධ ආර්ථික,  සමාජමය මෙන්ම පවුලේ ආරවුල්,  පෙම් සබඳතා බිඳවැටීම් වැනි හේතූන් රාශියක් මෙවැනි ඛේදවාචකයන් ඇතිවීමට හේතුපාදක වී ඇත.  තරුණ අසහනය හා පවුලේ දරිද්‍රතාවය නිසා දෙමාපියන්ට දරුවන් නඩත්තු කරගත නොහැකිවීම හේතුපාදක වී ඇති ප්‍රධාන කරුණුය.

ධර්මවිජය පදනමේ විශේෂයෙන් වෛද්‍ය වෘත්තිකයන් වූ භාරකාර සභික සභිකාවන් මෙම ව්‍යාපෘතියට මූලිකත්වය දී කටයුතු කරනු ලැබේ. ප්‍රාදේශීය වශයෙන්, නායකයින් තෝරාගෙන,  ඔවුන්ට එවැනි පුද්ගලයින් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් සඳහා විශේෂ පුහුණුවක් ලබාදී, පැය 24 පුරා සම්බන්ධීකරණය වීමේ ක්‍රමවේදය සලසා, එවැන්නකු හඳුනාගත් වහාම එම තැනැත්තා හෝ තැනැත්තිය වහාම දුරස්ථ ක්‍රමයෙන් හෝ මුහුණට මුහුණ හමුවීමේ ක්‍රමවේදයක් සලසා,  පීඩාවට පත්වූවන් පළමුවෙන්ම මානසිකව සුවපත් කිරීමත්,  ඉන් අනතුරුව ඔවුන්ගේ ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒවාට පිළියම් යොදමින් ජීවත්වීමේ අපේක්ෂාව ස්ථිර සාර ලෙස ගොඩනැඟීමත් වූ මේ දීර්ඝ කාර්යභාරය ඉතාමත් සංකීර්ණ වේ.

පසුගිය අවස්ථාවක ජීවත්වීමේ බලාපොරොත්තුව ගොඩනඟා ගැනීමට හැකි වූ එවැනි මවක් ගැන සඳහන් කිරීම මෙම වැඩසටහන පිළිබඳ මනා වැටහීමක් ලබාදෙනු ඇත.

කළුතර අගලවත්ත ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් මවක් “මට වෙලාවකට ළමයින්ටත් වහපොවල මැරෙන්න හිතෙනවා” යැයි කියනු කණ වැකුණු අපගේ නිරීක්ෂකයකු වහාම ධර්මවිජය පදනමේ මෙම අංශය භාර වෛද්‍යතුමිය දැනුවත් කරන්නේ එක් දිනක සවස් භාගයේ ඇඳිරි වැටෙන්න ආසන්නවය. වහාම ක්‍රියාත්මක වන වෛද්‍යතුමිය අපගේ නියෝජිතයා මගින් ජංගම දුරකථනය මගින් ඇය ආමන්ත්‍රණය කර දීර්ඝ සාකච්ඡාවකට මුල පුරයි. අපගේ නියෝජිතයාද එම ස්ථානයේ තබා පැය ගණනක් දීර්ඝ සාකච්ඡාවකට පසු එදින රාත්‍රියේම ඇය හමුවීමට යන වෛද්‍යතුමිය ඇයගේ මනස වෙනස් කර,  ජීවිත බලාපොරොත්තු ඇති කරයි.  දීර්ඝ විස්තරයක් කෙටියෙන් සඳහන් කළත් සැමියෙක් නොමැති ඇය සත්‍ය වශයෙන් ම දරුවන් සමග දිවිනසා ගැනීමට තීරණය කර සිට ඇත.

ඇය හා ජීවත් කරවීමට අවශ්‍යව තිබුනේ අධිෂ්ඨානශීලීව ජීවත්වීමේ බලාපොරොත්තුව මානසිකව ගොඩ නැගීමත් ආදායම් මාර්ගයක් සලසාදීමත්ය. ඇයට ඇඳුම් මැසීමේ හැකියාව ඇති නිසා  ජීවත්වීමට ඇය ඉල්ලා සිටියේ මහන මැෂිමක් හා මුල් අවස්ථාවේ රෙදි ගැනීමට රු.5,000/-ක මුදලකි.  ධර්මවිජය පදනම වහාම ක්‍රියාත්මක වී මහන මැෂිමක් හා රෙදිපිළි,  නූල් ගැනීමට රු.10,000/-ක මුදලක් දෙන ලදී.  ගමේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ දැනුවත් කළ විට උන්වහන්සේ නිරීක්ෂණ තත්ත්වයෙන් කටයුතු කරන අතරේ ඇයගේ නිමි ඇදුම් මිලට ගැනීමට කඩමණ්ඩියේ වෙළදසැල් කිහිපයක් සම්බන්ධීකරණය කළහ.  කුඩා ව්‍යාපාරය දියුණු විය. ඇය ඊට පසු විසිතුරු ඉටිපන්දම් නිෂ්පාදනය, හඳුන්කූරු නිෂ්පාදනය ද ආරම්භ කළාය.  වසර කිහිපයකට පසු ඇය තමා සතු ත්‍රිවිල් රථයෙන් තමාගේ නිෂ්පාදන බෙදා හරින කුඩා ව්‍යාපාරිකාවකි. දරුවන්ගේ හා තමාගේ ජීවිතය ආරක්ෂා කිරීම ගැන ධර්මවිජය පදනමට පිං දෙයි.

මෙම වැඩ සටහන පුළුල් කිරීමට,  දුරකථන ජාලයක්,  විධිමත් පුහුණුවක් ලත් ග්‍රාමීය නායකයින් පිරිසක් මෙන්ම,  ඒ ඒ ග්‍රාහකයන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ.  ධර්මවිජය පදනම සමග සැදැහැති දානපතීන් පිරිසක් සම්බන්ධ වන්නේ නම්, පොදු අරමුදලක් පිහිටුවා මිනිසාට ජීවිත දානය උදාකිරීමේ උත්කෘෂ්ඨ කර්තව්‍ය කාර්යක්ෂම අන්දමින් කළ හැකිය. මනා පුහුණුවක් ඇති ග්‍රාමීය නියෝජිත පිරිසක් අවශ්‍ය වන අතර ඊට ධර්මවිජය සමාජවල තරුණ පිරිස හා දහම් පාසලේ ගුරු භවතුන් යොදාගත හැකිය.  කාර්යක්ෂම වැඩ සටහනක් මගින් සියදිවි නසා ගැනීම් අවම කළ හැකිය.  එම සංවිධාන ශක්තිය ධර්මවිජය පදනම සතුය.  වර්තමානයේ වෛද්‍යවරුන් වී සිටින කලක්  අප පදනමේ ශිෂ්‍යත්වලාභීන් වූ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිවයින පුරා විසිරී සිටින හෙයින් මෙම කාර්ය වඩාත්  පහසුවෙන් මුළු දිවයින ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ හැක.

ඔබත් සියදිවි නසා ගැනීමට  අර අදින කෙනෙකුට  දිරියක් දී ජීවිතයක් බේරගන්න.