නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය.

ධර්මවිජය පදනමේ සමාජ සත්කාරක වැඩ සටහන් අතරින් ආර්ථික වශයෙන් දුර්වල නිවසක් ගොඩනඟා ගැනීමේ ශක්තියක් නැති පවුල්වලට නිවාස ආධාර ලබා දීම සිදු කරනු ලබයි.

පසුගිය අවධියේ නිවාස සංවර්ධන වැඩසටහන කිහිප ආකාරයකින් සිදු කෙරිණි. 2004 සුනාමි ව්‍යසනය හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වූ විට ධර්මවිජය පදනම මුල් වී නිවාස 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පිළිසකර කිරීම හෝ නව නිවාස තැනීම සිදු කරන ලදී. එපමණක් නොව එම නිවැසියන්ට ගෘහ භාණ්ඩ ලබාදීම, ආර්ථිකමය වශයෙන් බලගැන්වීම සදහා කෘෂි උපකරණ, ජල පොම්ප, බයිසිකල්, වඩු උපකරණ ආදිය ලබාදීමද දරුවන්ට පාසල් පොත්පත්, ඇඳුම්, නිල ඇඳුම්, පොත් බෑග් ලබාදීම හා ශිෂ්‍යත්ව ආධාර මුදලක් ගෙවීමද සිදු කෙරිණි. ධර්මවිජය පදනම හා බැඳී ඉතා විශ්වාසයෙන් යුතුව සමාජ සත්කාරක සේවාවන්වල යෙදෙන අපගේ විදේශීය ත්‍යාගලාභීන්ගේ  නොමසුරු ආධාර ක්ෂණිකව අප වෙත ප්‍රදානය කිරීම නිසා, අතිසාර්ථක නිවාස වැඩසටහනක් හා ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ වැඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි විය.

මීට අමතරව, දේශීයව වරින්වර ඇතිවන විශාල ගංවතුර තර්ජන, ගෙවල් සහිත ප්‍රදේශ නායයෑම් හේතුවෙන් වර්ෂයකට අන්ත අසරණ තත්ත්වයට පත්වන පවුල් සංඛ්‍යාව අතිමහත්ය. ඒ අයට ක්ෂණික ආධාර වශයෙන් වියළි ආහාර, ඇඳුම් පැළඳුම්, පොත්පත් දීමට අමතරව නිවාස සාදා ගැනීම සදහා ද ආධාර කරන ලදී.

“ග්‍රාමීය සංවර්ධන වැඩසටහන”  යටතේ ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර යන අංශ හතර යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර, තෝරා ගත් ගමිවල අඩුආදායම්ලාභීන් සදහා නිවාස අලුත්වැඩියා කර ගැනීම හෝ නව නිවසක් තනා ගැනීමට මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර සැපයීම සිදු කරනු ලබයි. එම නිවාස වැඩසටහන, ගමේ ජනතාව සෑම අංශයකින්ම සවිබල ගැන්වීමේ කාර්යයේදී වැදගත් කාර්යයක් වන්නේ, ආරක්ෂිත අවම සෞඛ්‍ය පහසුකම් සහිත නිවසක් ගොඩ නගාදීමට කටයුතු කිරීමයි. මේ වනවිට ගම් කිහිපයකට මෙම වැඩසටහන ක්‍රියාත්මක වී තිබේ. මෙහිදී නිවසට අමතරව සෞඛ්‍ය ආරක්ෂක වැසිකිලියක් ලබා දීමට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

ඊළඟ නිවාස සංවර්ධන වැඩසටහන වනුයේ විශේෂිත හේතු මත තෝරාගත් අසරණ පවුලක් සදහා නිවාස ඉදිකර දීමයි. අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ අපවත් වී වර්ෂ 18ක් ගත වීම නිමිත්තෙන්, තබ්බෝව පැනසිහගම ග්‍රාම සංවර්ධන වැඩසටහන යටතේ තෝරාගත් පවුලක් සදහා නිවසක් තනාදීම ඉතා මෑතදී  සිදු කරන ලද එවැනි එක් විශේෂ කටයුත්තකි. එම නිවසේ දරුවකු සසුන්ගත වී, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙහි පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටීම ද විශේෂ කරුණකි.

දේශීය හා විදේශීය දානපතීන්, අසරණ පවුලක් සදහා නිවසක් ඉදිකර දීමට කැමැත්තෙන් පසු වුවත්, එම ප්‍රාර්ථනය විශ්වාසදායී පාර්ශවයක් ලවා ඉටුකර ගැනීමට නොහැකිව සිටිති. එවැනි බොහෝ දෙනෙක් ධර්මවිජය පදනමේ සහාය අපේක්ෂා කරන අවස්ථා තිබේ. එවැනි දානපතීන්ගේ අවශ්‍යතාව අප වෙත දන්වා, ධර්මවිජය පදනම වෙත මුදල් එවු විට, ධර්මවිජය පදනම සියලුම තාක්ෂණ සහායදීමත්, අධීක්ෂණය කිරීමත් සිදුකර, එම පිංවත් දානපතීන්ගේ අභිලාෂය ඉටුවන ආකාරයෙන් කාර්ය නිමකර දෙනු ලැබේ. සියලුම වියපැහැදම් පිළිබද, විගණනය කරන ලද වාර්තාවක්ද ඔවුන් වෙත සපයමු. මේ වනවිට එවැනි නිවාස ගණනාවක් ඉදිකර දී, පදනමේ සහාය ලබා දී ඇත.

ඔබටත් මේ කවර හෝ ආකාරයෙන් නිවාස සංවර්ධනවැඩසටහනට සම්බන්ධ වී, ඔබ පතනා පුණ්‍යකර්මය සිදු කර ගැනීමේ උදාර අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත.