කලුතර කටුකැලේ කාබනික වගා සමූහ ගොවිපල සමාරම්භක උත්සවය.

කළුතර, පැලවත්ත ශ්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජය හා එකමුතු පරෝපකාර සුභසාධක සමිතිය එක් ව පවත්වාගෙන යාමට යෝජිත සමූහ කාබනික ගොවිපළෙහි වගා කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය එම ධර්මවිජය සමාජයේ ගරු සභාපති පූජ්‍ය පිටිගල සුමන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කටුකැලේ පාසල් භූමියේදී 2022-09-16 දින පැවැත්විණි.
ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, ධර්මවිජය පදනමේ භාරකාර සභික සභිකාවන් කිහිප දෙනෙක් සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් එම මෙම සමාරම්භක අවස්ථාවට සහභාගි වී සිටියහ.
මෙම සමූහ ගොවිපල සදහා යොදා ගන්නා ඉඩම මීට වර්ෂ ගණනාවකට පෙර වැසී ගිය පාසලක් පිහිටි භූමියක් වන අතර පාසලේ නටඹුන් වලට මෙන් ම වටිනාකමින් යුත් ශාකවලටත් හානියක් නොවන පරිදි මිනිස් ශ්‍රමයෙන් පමණක් ඉඩම එළි පෙහෙලි කර වගාවට සුදුසු පරිදි සකස් කිරීමට නියමිතය.
ධර්මවිජය පදනමේ අනුග්‍රහයෙන් ඉන්දියාවට ගොස් කාබනික වගාව සම්බන්ධයෙන් පුහුණුවක් ලැබ සිටින එච්.අයි.ජී.ගාමිනී ජයතිස්ස මහතා මෙම සමූහ ගොවිපලේ නායකත්වය දරන අතර, මෙහි වර්තමානයට ගැලපෙන වගාවන් කීපයක් කාබනික පොහොර පමණක් භාවිත කරමින් වගා කිරීමට අපේක්ෂිතය.