“භාර අරමුදල්” පිහිටුවීම

ධර්මවිජය පදනම

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ 1977 දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 දී අංක 62 දරන ලද පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් මෙන්ම ප්‍රජා සංවර්ධන ආයතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත. ඒ අනුව පදනමට ලැබෙන මූල්‍යාධාර ආදායම් බදුවලින් නිදහස් කර ඇත.

ධර්මවිජය යනු දැහැමි ක්‍රියාවෙන් විජයග්‍රහණය කිරීමයි. “සමවායො එව සාධු” – සමඟිය ම යහපති යන්න අපගේ ආදර්ශ පාඨය යි. බුදු දහමේ ඉගැන්වෙන පංචශීල ප්‍රතිපත්ති අනුව ඉවසීම, සුහදත්වය හා කරුණාව පදනම් කරගත් සියඵ සත්ත්වයාගේ හා පරිසරයේ යහපත් පැවැත්ම සඳහා කටයුතු කිරීම අපගේ අරමුණ යි.

භාරයක අරමුණ

ඕනෑම නීත්‍යානුකූල අරමුණක් සඳහා භාරයක් නිර්මාණය කළ හැකිය., තමන්ට අයිති මුදල්, නිවාස ඉඩකඩම්, ස්වර්ණාභරණ මේ ආදී ඕනෑම දෙයක් මූල්‍ය වටිනාකමක් සහිතව භාරයක් ඇති කිරිමට  පුද්ගලයෙකුට හැකියාවක් තිබේ. ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අනුව මනාව ස්ථාපිත කළ භාරයක් ක්‍රියාත්මක වන්නේ, “භාර ආඥාපනතේ” ඇති නියමයන් හා කොන්දේසිවලට අනුකූලව ය. භාරයක් ඇති කිරීමෙන් අදහස් කරන්නේ, තමන් සතු ඉහත කී දේපලක් හෝ ඉන් උපයන මුදලක් තමන් කැමති සමාජයට යහපතක් සිදුවන නිත්‍යානුකූල කටයුත්තකට, ආඥාපනතේ නියමයන්ට අනුකූල වූ තමන් කැමති කොන්දේසි හෝ නියමයන්ට, අනුව ක්‍රියාත්මක කරන ලෙස නිත්‍යානුකූලව වෙනත් බලධර පුද්ගලයෙකු හෝ ආයතනයකට ඔවුන්ගේ එකඟතාවය ද මත පවරා ගිවිසුමක් අත්සන් කර, එම බලධරයාට හෝ ආයතනයට තමා වෙනුවෙන් ක්‍රියාත්මක කිරිමට ඉඩ හැරීමයි. එම භාරය තමන්ගේ ජීවිත කාලය තුළ මෙන්ම තමාගේ අභාවයෙන් පසුව ද මුලින් එකඟ වු අරමුණු සදහා එකඟ වු කොන්දේසි මත බලය ලැබු පුද්ගලයා හෝ ආයතනය විසින් ක්‍රියාත්මක කිරිමට බැඳී සිටී.

භාරයකට සම්බන්ධ පුද්ගලයන් වන්නේ

භාරය ඇතිකරන්නා (settlor) භාරකරු (trustee) හා (beneficiary) තිදෙනාය. ශ්‍රී ලංකාවේ භාර නීතියේ 7(අ) වගන්තිය අනුව ගිවිසුමක් ඇති කර ගැනීමේ නිත්‍යානුකූල හැකියාවන් ඇති පූර්ණ වයසට හා මනා සිහියෙන් යුතු නීතියෙන් නුසුදුස්සෙකු නොවූ ඕනෑම පුද්ගලයකුට නිත්‍යානුකූල අරමුණක් සඳහා භාරයන් ඇතිකර ගත හැකි ය. 10 (1) වගන්තිය අනුව දේපලක් දැරිය හැකි පුද්ගලයකු හෝ ආයතනයක් භාරකරු විය හැකි ය. 9 (1) වගන්තිය අනුව දේපලක් දැරිය හැකි, පුද්ගලයකු අර්ථලාභියකු විය හැකි ය.

පුණ්‍ය භාර

ශ්‍රී ලංකාවේ වලංගු වන භාර ප්‍රකාශිත භාර, අනුමිත භාර හා පුණ්‍ය භාර වශයෙන් වර්ග 3කි. පොදුවේ හෝ පෞද්ගලිකව හෝ යහපතක් වන්නා වු හෝ මහජනතාවගෙන් කොටසකට යහපතක් වන්නා වු භාරයන් “පුණ්‍ය” භාරයක් ලෙස නිර්මාණය කළ හැකි ය.

කොන්දේසි මොනවාද?

භාරයක් ක්‍රියාත්මක කරවා ගැනීමට අරමුණු කරගත් කාර්යය අනුව ඊට අදාළ කොන්දේසි සකස් කර ගන්නා අතර ඒවා භාර ආඥා පනතේ විධිවිධානයන් තුළ නීත්‍යානුකූල විය යුතු ය. තමන් දේපල හෝ ඉන් කොටසක් හෝ ඒවා ආයෝජනය කිරිමෙන්/සංවර්ධනය කිරිමෙන් ලැබෙන ආදායම හෝ, මේ සියල්ලම හෝ තව කෙනෙකුගේ යහපත, අභිවෘද්ධිය පිණිස, පුණ්‍ය ආයතනයක අභිවෘද්ධිය පිණිස දිය හැකි ය. එය ශිෂ්‍යත්ව ආධාර, ගිලානපත්‍යය පුජා කිරිම, වෛද්‍යාධාර, සැත්කම් සඳහා වියදම් දැරීම, තමා විසින් තෝරා නියම කරගත් පූජනීය හෝ වෙනත් ස්ථානයක් සඳහා හෝ තෝරාගත් ප්‍රදේශයක යම් කටයුත්තක් සඳහා ආදී වශයෙන් අරමුණු වෙනස් විය හැකි අතර, ක්‍රියාත්මක කොන්දේසි සකස් වන්නේද එම ප්‍රස්තුතය හා අරමුණු මුල් කරගෙනය. එම දෙපාර්ශවය ගිවිස ගන්නා කොන්දේසි අවසානයේ දී බලාත්මක කොන්දේසි බවට පත්වේ.

භාරයක් පිහිටුවන්නේ කෙසේද?

භාරයක් තමන්ගේ අන්තිම කැමති පත්‍රයකින් හෝ ඔප්පුවක් ලිවීමෙන් හෝ, ජීවිත කාලයේ දී මුද්‍රා නොතබන ලද ලේඛනයකින් හෝ නීතියෙන් නියම කරනු ලැබු ප්‍රතිචාර අනුගමනය කරමින් ඇතිකර ගත හැකි ය. ඒ අනුව කිසියම් පුද්ගලයකුට තමන්ගේ දේපළ තමා ජීවත්ව සිටින කාලය තුළ හෝ තමාගේ මරණයෙන් පසුව හෝ වෙනත් කෙනෙකුගේ අර්ථලාභිත්වය සදහා යෙදවීමට කැමති නම්, ඊට භාරය පිහිටුවන ඔප්පුවක් ලියා, ලියාපදංචි කර භාරකරු වෙත පැවරීමෙන් හෝ අන්තිම කැමතිපත්‍රයක් පිළියෙල කර තැබීමෙන් හෝ භාරය පිහිටුවිය හැකි ය. අන්තිම කැමති පත්‍රයකින් භාරයක් පිහිටු වු විට එය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ මරණින් පසුව ය.

ධර්මවිජය පදනමේ කාර්යභාරය කුමක්ද?

රජය අනුමත පුණ්‍ය ආයතනයක් වු ධර්මවිජය පදනම භාරකරු (trustee) ලෙස වගකීම් දරමින් කිසියම් පුද්ගලයකු විසින් මෙම පදනම වෙත පවරන නීත්‍යානුකූල වගකීම, භාරය ඇති කරන්නා විසින් නිර්මාණය කළ කොන්දේසි වලට අනුකූලව අර්ථලාභියාගේ ප්‍රයෝජනය (use) සඳහා යොදවයි.

ධර්මවිජය පදනම ලියාපදිංචි කළ ව්‍යවස්ථාවක් අනුව ක්‍රියාත්මක වේ. මෙම පදනම 30 දෙනෙකුගෙන් යුත්,භාරකාර මණ්ඩලයක්, මගින් පාලනය වන අතර සියඵම තීරණ ගැනෙන්නේ භාරකාර මණ්ඩලයේ ඒකමතිකත්වයෙනි, බහුතරයේ කැමැත්ත මතය. භාරකාර මණ්ඩලය අඛණ්ඩව සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම ප.ව. 4.30 ට ධර්මවිජය පදනමේ මුලස්ථානයේ දී රැස්වේ. ධර්මවිජය පදනමේ සමාරම්භක අනුශාසක අග්ගමහාපණ්ඩිත අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානාහිමියන්ගේ අනුශාසකත්වයෙන් රැස් වූ භාරකාර මණ්ඩලය උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු වර්තමානයේ දී උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වන ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකියපණ්ඩිත පුජ්‍ය හක්මන සුමනසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් රැස්වේ.

භාරකාර මණ්ඩලයේ නිලධාරින් තෝරා ගැනීම වාර්ෂික මහා සභා රැස්වීමේ දී වැඩි ඡන්දයෙන් සිදුවේ. භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් වැටුප් හෝ ප්‍රතිලාභ නොලබන ස්වේච්ඡා සේවකයින් ය. පරිපාලන, කළමනාකරණ, ගණකාධිකරණ, ඉංජිනේරු, නීති, බැංකු, තානාපති වැනි විවිධ සේවාවන්හි සිටි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු හෙඹ වූ මෙම සභික/සභිකාවන් භාරකාර මණ්ඩලයේ තීන්දු තීරණ ගැනීමේ වගකීම දරති.

ධර්මවිජය පදනම මේ වනවිට භාර 77 ක භාරකාරත්වය දරයි. සියඵම ගිණුම් වාර්ෂිකව වරලත් ගණකාධිකාරි සමාගමක් විසින් පරීක්ෂා කර ගිණුම් වාර්තාව ප්‍රසිද්ධ කෙරේ. ඒ අනුව වර්ෂ 2021 වර්ෂය අවසානයට භාරකාර අරමුදල් වල මුඵ වටිනාකම රුපියල් මිලියන 32.2 කි. සෑම වර්ෂයකම එම වර්ෂය තුළදී සිදු කරන ලද කටයුතු හා වියදම පිළිබඳ විස්තර භාර ඇති පිහිටුවූවන් (settlor) වෙත දන්වා යවනු ලැබේ.

මෙතෙක් ඇති කර ඇති භාරවලින් සිදු කරන කාර්යයන්ගේ ස්වභාවයන් කෙටියෙන් දක්වතොත් සියලු කාර්යයන් අධ්‍යාපනය, සෞඛ්‍යය, ආර්ථික, සදාචාර වර්ධනය යන ප්‍රධාන අංශ 4 යටතේ ගිහි පැවිදි ශිෂ්‍යත්ව දීම, ස්වාමින් වහන්සේට සිවුපසය සැපයීම, ගිලාන භික්ෂුන්ට උපස්ථානය, ඖෂධ සැපයීම, දහම් පාසල් නඟා සිටුවීම, බුදු දහම ව්‍යාප්ත කිරිමේ කටයුතු, මානව සදාචාරය වර්ධනය කිරිමේ විවිධ කටයුතු, විහාරස්ථාන වර්ධනය, දහම් පාසල් ශිෂ්‍යත්ව ප්‍රදානය, ඇස් කන්නාඩි, අක්ෂි කාච ලබාදීම, ආපදා සහන, දිළිදු පවුල් සඳහා නිවාස ඉදිකිරිම, දිළිඳුකම පිටුදැකිමේ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පානීය ජල සැපයුම, බෝ නොවන රෝග ව්‍යාප්තිය මර්දනය කිරීම, දුම්කොළ දුම්වැටි භාවිතය අවම කිරීමට කටයුතු කිරීම, සත්ව අවිහිංසාව සුරැකිම වැනි කටයුතු ඊට අයත්ය. දිවයිනේ විහාරස්ථාන 468 ක පිහිටුවා ඇති ධර්මවිජය සමාජ මගින් මේ කාර්යයන් ක්‍රියාත්මක වේ.

ඔබත් භාරයක් ඇති කිරීමට කැමති නම්

ඔබත් ධර්මවිජය පදනම හා බැඳී ඉහත දැක්වූ පුණ්‍ය කටයුතුවලට සහභාගි වී දෙලොව යහපත සඳහා කටයුතු කිරීමට කැමති නම් ඔබ ජීවත්ව සිටියදී හෝ මරණයෙන් පසුව ඔබ උපයාගත් ධනය අපේක්ෂිත පරමාර්ථය සඳහාම යෙදවීමට අදහස් කරන්නේ නම්, කරුණාකර පහත සඳහන් ලිපිනයෙන්, දුරකථනයෙන් අපව අමතන්න. වැඩිමනත් විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. භාර ඇති කරන්නාගේ කැමැත්ත මත ඔහු සපයන විස්තරයන්හි රහස්‍ය භාවය රකිනු ලැබේ.