ධර්මවිජය සමාජවලට අයත් දහම් පාසල් වල අධ්‍යාපනය නගා සිටුවීම මගින් ධර්මය සමාජ බලගැන්වීම සඳහා පැවති එක්දින වැඩමුලූව.

“දහම් පාසැල් අධ්‍යාපනය තුළින් බෝසත් හෙළ ළමා පෙළක් බිහිකරමු” යන මැයෙන් ඉහත අරමුණු ළඟාකර ගැනීම සඳහා මහරගම සිරි වජිරඤාණ දහම් පාසල සහ ධර්ම විජය පදනම විසින් සංවිධානය කළ එක් දින වැඩමුලූව කොළඹ දිස්ත්‍රික්කයේ ධර්මවිජය සමාජ වලට අනුබද්ධ තෝරාගත් දහම් පාසල් 12ක සභාපති ස්වාමීන් වහන්සේලා, ශිෂ්‍ය නායක නායිකාවන්, ගුරු මෑණිවරු පියවරු ඇතුළු 120ක පමණ පිරිසක් සම්බන්ධ කරගනිමින් 2022 අගෝස්තු මස 08 වන දින මහරගම වජිරඤාණ ධර්මායතනයේ දී පවත්වන්නට යෙදුණි.
මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ වූයේ මහරගම වජිරඤාණ ධර්මායතනයේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ආරාධිත දහම් පාසල් අත්දැකීම් සමඟ සුසංයෝග කොට දහම් පාසල් අධ්‍යාපනය වර්ධනය කිරීම සදහා ගත හැකි නව ප්‍රවේශයන් හඳුනාගැනීමය.
ඒ සඳහා සිරි වජිරඤාණ දහම් පාසලේ අධ්‍යාපන ක්‍රමවේදය හා විෂය සමගාමි කටයුතු නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කර තිබූ අතර එහිදී දහම් පාසලේ කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ ඒ ඒ අංශ අනුව විස්තර කිරීමක් හා එම ක්‍රමවේදයන් දැක බලා ගැනීමේ අවස්ථාව සලසා දී තිබුණි.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව, බෝසත් හෙළ ළමා පෙළක් බිහි කිරීම සඳහා සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රවේශය හා පනස් වසරක අත්දැකීම් පිලිබද විස්තර කිරීමක් සහ ධර්මවිජය පදනම විසින් සිදුකරන කාර්යභාරයන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කෙරුණි. අනතුරුව දහම් පාසල් සඳහා කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස දහම් පාසල් අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා සිදුකළ හැකි නව ප්‍රවේශයන් හඳුනා ගැනීමට සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවිය. අවසානයේ දිනයේ කටයුතු පිළිබඳ සමාලෝචන සැසියක් පවත්වා වැඩමුළුවෙන් මතු වූ කරුණු අධ්‍යයනය කරන ලදී. වැඩමුළුවේ කටයුතු ඇගයීමට ලක් වූ අතර සහතික පත්‍ර සහ දහම් පොත් පත් ප්‍රදානය කින් අනතුරුව වැඩසටහන ප.ව 4.30 පමන නිමාවට පත්විය.