dharmavijaya-logo
dharmavijaya-foundation-si
Menu

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්ථවිරපාදයාණෝ ගැන බිදක් ....

මිනිහා නොහදා රට හදන්න බැහැ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු
බුද්ධ ධර්මයෙහි සදහන් උසස් පින්කම කුමක්දැයි ප්‍රශ්න කළොත් දිය යුතු නොවරදින පිළිතුර මිනිහා හැදීම යනු යි. එනම්. මනස හැදීම යි. මනස්ස උස්සන්නතාය මනුස්සො දියුණු වන මනසක් ඇතොත් මිනිහා යනු බෞද්ධ විග්‍රහය යි. මිනිහා නොහදා රට හදන්න බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන සිද්ධාන්තය පහළ වූයේ එලෙසිනි.
මිනිහාගේ දියුණුව මෙලොව-පරලොව-ලෝකෝත්තර යි තුන් කොටසකට බෙදෙයි. ආර්ථික-අධ්‍යාපනික-සෞඛ්‍ය-සදාචාරාදි දියුණුව මොලොව දියුණුව යි. මරණින් මත්තෙහි ලැබෙන සුගතිය පරලොව දියුණුව යි. සතර මග සතර ඵලයෙන් නිවන් අවබෝධ කැර ගැනීම ලෝකෝත්තර දියුණුව යි.
සැලැස්මක් අනුව කටයුතු කිරීම මුඵ ලෝකය ම පිළිගත් සත් චාරිත්‍රයෙකි. එය මුලින්ම ඉගැන් වූයේ බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ ගේ සියලු කටයුතු සැලැස්මකට හා කාල සටහනකට අනුකූල වැ සිදු කළ බව සක් සුදක් සේ පෙනෙයි. එහෙයින් සියලු කටයුතු කලටත් වේලාවටත් හොදටත් සම්පූර්ණවත් සිදු කරන්නට හැකි විය.
අප ද මෙලෝ, පරලෝ හා ලොව්තුරා දියුණුව බලාපොරොත්තු වෙනවා නම් හොද සැලසුම් හදා ගත යුතු ය. එයින් ජීවන සැලැස්ම මුල් තැන ගනී. මෙහි ඉදිරියෙහි පළවන්නේ ජීවන සැලැස්මෙකි. එය අවස්ථා පහකින් යුක්ත ය. එය ඉතා සරල ය. සුන්දර ය. ත්‍රිවිධ දියුණුවට හොදම මාර්ගය යි.
මිනිහා නොහදා රට හදන්න බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන බොදු පිළිවෙතට හැම දෙනා ම එකතු විය යුතු ය. සහාය විය යුතු ය. ප්‍රචාරය කළ යුතු ය. මෙහි සදහන් ජීවන සැලැස්මට අයත් ඒ ඒ අවස්ථාවෙහි තමන්ට අයත් පිළිවෙත් කොටසෙහි යෙදෙන අතර, ඒ අවස්ථාවට අයත් ඤාති-මිත්‍ර-හිතවන්ත කාන්තාවනට ද මේ පිළිවෙත් සුහද වැ කියා දිය යුතු ය. ඒ මෙසේය.
මවුකුසේ දී 
එහි පළමු වැන්න මවුකුසේ දී දරුවා හැදීම යි. ධර්මානුකූල වැ දේශිත මේ වැඩ පිළිවෙළ නවීන විද්‍යාෙවන් තහවුරු වී ඇත.
බුද්ධ කාලයෙහි තමන් ගේ කුසෙහි දරුවකු පිළිසිද ගෙන ඇති බව දැනගත් ඇතැම් මව්වරු බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් වැද කුසෙහි සිටින දරුවා තෙරුවන් සරණ ගත කොට තුනුරුවන් ගේ ආශිර්වාද ලබා ගත්හ. අනතුරු වැ ගබ්භ පරිහාරං අදාසි – ගම්පෙරහර දුන් නා යි කියු පරිදි දරුවා ගේ කය වැඩීමටත් මනස වැඩීමටත් උවමනා වෛද්‍යෝපදේශයෙන් හා ධර්මෝපදේශයෙන් දරු ගැබට පුදසත්කාර කළහ.
කය වැඩීමට කළ යුතු දෑ මෙසේ ය. තමා ගේත් දරුවා ගේත් උවමනා පරිදි සුදුසු ආහාර ගැනීම, කුසෙහි සිටින දරුවා ගේ කය ඉතා සියුම් ය. එහෙයින් ශීත උෂ්ණ තදින් දැනෙනවා. පුරාණ චාරිත්‍රානුකූල වැ ගර්භණී මවුවරු තද ශීත-උෂ්ණ-ලුනු-ඇඹුල් ආහාර ගන්නේ නැත. හැරීම, නැමීම, පෙරළීම ආදිය ද කුසෙහි සිටින දරුවා ගැන සලකා ඉතා පරෙස්සමෙන් කළා.
දරුවා ගේ මනස හැදීම සදහා පන්සල් යෑම, බුදුන් වැදීම, බණ ඇසීම, සීල භාවනාවල යෙදීම, නැක සිතිවිලි අඩු කැර ගැනීම හා හොද සිතිවිලි වැඩි කැර ගැනීම, වීරයන් ගැන සිතීම හා කතා කිරීම, වීර චරිත කියවීම ආදිය යි. දරුවා ගේ උපත ළං වන විට අංගුලිමාල සූත්‍රය ඇතුඵ වැ පිරිත් කියවා ගැනීම ද අපේ චාරිත්‍රෙයකි. කුසෙහි සිටින දරුවා කායික හා මානසික වශයෙන් දියුණු කැර ගැනීමට පූර්ණ සහාය දීම පියා ගේ යුතු කමෙකි. මේ අවස්ථාවෙහි සිටින ඥාති-මිත්‍ර හිතවන්ත කාන්තාවන්ට මේ කරුණු විස්තර කැර දීම ඉතා උතුම් ගුණයෙකි.
උපතේ සිට වයස 15 දක්වා
මේ කාලයෙහි ළමයි දෙමාපියන් ගේ ආශ්‍රෙයහි හැදෙන අය යි. මේ කාලයෙහි ළමයින් චරිත, බුද්ධි දෙකෙන් දියුණු කළ යුතු ය. එය කළ හැක්කේ (පුබ්බාචරිය) පෙර ගුරුවරු වන මවුපියන් ගේ ආදර්ශයෙන් හා උපදේශයෙන් ය. දෙමාපියන් තමා ගේ දරුවන් මෙලෙසින් හදන අතර මේ අවස්ථාවෙහි සිටින ඥාති-මිත්‍ර හිතවන්ත දෙමාපියන්ට ද මේ කරුණු විස්තර කැර දීම උතුම් ගුණයෙකි.
වයස 15 සිට 30-35 දක්වා
මූලික අධ්‍යාපනය අවසන් වී උසස් අධ්‍යාපනයට යන කාලය යි. මේ කාලයේදී විශ්ව විද්‍යාලයට ඇතුඵ වන්නට උත්සාහ දරන කාලය යි. විශ්වවිද්‍යාලයට ඇතුඵ වන්නට නොහැකි අයට අන් රැකියාවක් ලැබෙනවා නම් හොදයි. එසේ නොලැබෙන අය බුදුරජාණන් වහන්සේ විසිනුත් ප්‍රකාශිත ස්වයං රැකියාවනට බැසිය යුතු වේ.
වයස 35 සිට 60 දක්වා වන මධ්‍යම කාලය
මේ කාලයෙහි පවුල් ජීවිතය හොදින් ගත කරන අතර මොලෝ දියුණුව සදහා ආර්ථික-අධ්‍යාපන-සෞඛ්‍ය-සදාචාර යන සතර ආකාරයෙන් දියුණු විය යුතුය. එසේ ම මොලෝ-පරලෝ දියුණු දෙක ම සදහා දාන, සීල, භාවනා යන පුණ්‍ය ධර්මයන් දියුණු කැර ගත යුතු වේ. එසේ ම ඥාති මිත්‍ර හිතවන්තයනට ද මේ කරුණු කියා දීම උතුම් ගුණාංගයකි.
වයස 60 සිට ජීවිතාන්තය දක්වා කාලය
විවේක කාලය හා පුණ්‍ය කාලය යි. සුදුසු කාලයෙහි දරුවන් ගේ ආවාහ-විවාහ කටයුතු කැර දීමෙන් හා තමන් සතු සම්පත් සුදුසු පරිදි දීමෙන් ද ගිහි ජීවිත බරින් සැහැල්ලු විය යුතු ය. එයින් ලැබෙන විවේකය පුණ්‍ය කාලයට හරවා ගත යුතුය. ධර්මඥානය දියුණු කැර ගනමින් සීල-සමාධි ප්‍රඥා යන ගුණ කදු තුන දියුණු කැර ගතයුතු වේ. ඥාති මිත්‍ර හිතවන්තයනට ද මේ කරුණු කියා දීම උතුම් ගුණයෙකි.
ආගමික වේලාව සියලු දෙනාට ම
බුදුරජාණන් වහන්සේ ලෝකයා ගේ සුවය හා දියුණුව සදහා දිනපතා සැතැපුම් විස්සක් පමණ ගමන් කෙරෙමින් ධර්මදේශනා කළහ. හත් අට මසක් ගමන් කිරීම ඉතා හොද මෙහෙයකි. උන්වහන්සේ දිනපතා ම පැයක් පමණ අර්හත්ඵල සමාපත්තියට සමවැදීමෙන් වෙහෙස නිවා ගත්තා. ගිහි බෞද්ධයන් පැය භාගයක පමණ ආගමික වේලාවක් හදා ගත්තා.
උදේ හෝ රාත්‍රී නින්දට පෙර හෝ දෙමාපියන් හා දරුවන් බුදුන් වදින තැනට (එබදු විශේෂ තැනක් නැත්නම් සුදුසු තැනකට) එකතු වී පන්සිල් සමාදන් වී කරණීය මෙත්ත සූත්‍රය වත් කියා ගෙන මිනිත්තු පහක් වත් භාවනා කොට බණ පොතකින් පිටු දෙකක් වත් කාටත් ඇසෙන සේ කියවා සිතට ගෙන දරුවන් වැඩිහිටියනට වැදීමෙන් ආගමික වේලාව අවසන් කළ හැකි ය.
දිනපතා බොහෝ වාරයක් බුදුරජාණන් වහන්සේ සිහි කිරීමට නොහැකි නම් ඉඩ ඇති අවස්ථාවන්හීදි අරහං, අරහං කියමින් සිටීම ද පුරාණ බෞද්ධ චාරිත්‍රයකි. සමහරු නවගුණ වැල ද පාවිච්චි කළහ. ආගමික වේලාවෙන් කායික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය දියුණුවීමත් ධර්මඥානය දියුණුවීමත් මුඵ පවුල ම ආචාර සම්පන්න වීමත් මිනිස්කම වර්ධනය වීමත් සිදුවනවා ඒකාන්ත ය.
මිනිහා නොහදා රට හදන්න බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන බොදු පිළිවෙත හොදින් ක්‍රියාත්මක වුණු කාලයෙහි ශ්‍රි ලංකාව හැදින්වූයේ ධර්මද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය යන නම් වලිනි. මේ ප්‍රතිපදාව භාරතයේ සිට එවකට දියුණු ලෝකයේ පැතිරුණු හැටි මැදිහත්ව සලකා බලන්න. ජාති-ආගම්-පළාත්-පක්ෂ දේශපාලන භේද සියල්ලක් ම අමතක කොට සුචරිත වර්ධනය හා දුශ්චරිත මර්දනය පරමාධ්‍යාශය කැර ගෙන එක්සත් ව එක්සිත් ක්‍රියා කිරීම අප හැම දෙනා ගේම අධිෂ්ඨානය විය යුතු ය.
පින් ඇතිව ඉපදී සිටින හැම දෙනා ම ජීවන සැලැස්ම හොදින් කියවා බලා හොදින් ජීවිතයට සම්බන්ධ කැර ගෙන ඥාති මිත්‍ර හිතවන්තයනට නියා දෙන්නේ මැනවි.
අපේ බලාපොරොත්තුව සුචරිත වර්ධනය කොට දුශ්චරිත මර්දනය කොට ආර්ථික-අධ්‍යාපනික-සෞඛ්‍ය-සදාචාරය යන සතරාකාරයෙන් දියුණු කොට ශ්‍රී ලංකාව නැවතත් ධර්මද්වීපයක් කිරීම අරමුණ යි. දැන් බෞද්ධ ලංකාවේ පන්සිල් වෙනුවට පංච දුශ්චරිතය රට පුරා පැතිරෙන බව පෙනෙන්ට තිබේ. මෙය අපට මහත් නින්දාවකි. ලංකාවාසී සෑම කාන්තාවක ම උනන්දු වූවොත් හිතට ගත්තොත් මේ තත්ත්වය වෙනස් කොට හොද අතට හරවන්නට පිළිවන් වෙනවා ඒකාන්ත යි. මේ කරුණෙහි ලා අන්‍ය ලබ්ධික කාන්තාවන් ගේ ද සම්පූර්ණ සහාය අපි බලාපොරොත්තු වෙමු. අපේ පුතිපත්ති මාලාවෙහි දුශ්චරිත මර්දනය කිරීම සෑම ආගමිකයනට ම සාධාරණව ඇත. සුචරිතය සෑම විට ම ආගමක් පසුබිම් කැර ගෙන ඇති වෙයි. එහෙයින් අපේ සුචරිත ප්‍රතිපත්ති මාලාව අපේ ආගම අනුව හදා ඇත. අන්‍යලබ්ධිකයන් විසින් ඔවුනට උවමනා සුචරිත ප්‍රතිපත්ති මාලාව ඔවුන් අදහස ආගම අනුව පිළියෙළ කැර ගත යුතු වේ.
බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් කළ සේවය මනස හෙවත් මිනිසා හැදීම යි. ඉන්පසුව ද ඒ කාර්ය කිරීමට ධර්මය දේශනා කොට තැබූහ. එසේ ම එය ක්‍රියාත්මක කිරීමට මහාසංඝ පරම්පරාවක් ද ඇති කළහ. ඒ මහාසංඝ පරම්පරාවත් අදත් නිරුපද්‍රිත වැ පවතී. ඒ මහාසංඝ පරම්පරාවේ කෙනෙකු වන නීග්‍රෝධ රහතන් වහන්සේ ඒ ධර්මයා කියා චණ්ඩාශෝක වුණා. ලෝකයේ අසහාය රජ වුණා. වෙහෙර විහාර අසූහාර දහසක් හැදුවා. රට හැදුවා. එවකට ලෝකයත් හැදුණා. මිනිහා හැදුනාම ලෝකයත් හැදෙනවා යන සිද්ධාන්තය දැන් උගතුන් අතරට පත් වී ඇත. මෙන්න එයට සාධකයක්.
නුවණැති පියෙක් පිටුපස මිනිස් රූ සටහනක් ඇති ලෝක සිතියමක් කෑලිවලට කපා වෙන් කොට අවුල් කොට මේ කෑලි එකතු කොට ලෝකය හදා දෙන්නැයි නුවණැති පුතෙකුට දුන්නේය. ඔහු කෑලි එකතු කොට ලෝකය හදන්න ගත් හැම උත්සාහයක් ම ව්‍යර්ථ විය. නුවණැති පුතා වෙහෙසට පත් වැ පමෙක වාඩි වී පියාගේ නියමය සපුරා දෙන්නට වුවමනා යයි සිතා බලන විට ලෝක සිතියමේ කෑලිවල පිටුපස ඉරි කෑලි පෙනුණා. ඒ ඉරි කෑලි මිනිස් රූපයක සටහන් මෙන් පෙනුණා. ඔහු මිනිසා ගේ රූපය හැදෙන ලෙස කෑලි එකතු කළා. එය අනෙක් පැත්ත පෙරලා බලන විට ලෝකයත් හැදිලා. ඉතා සතුටට පත් පුතා තාත්තේ මා ලෝකය හැදුවා යැයි කීවා. තාත්තා කොහොමද පුතේ ලෝකය හැදුවේ කියා ඇසුවා. පුතා තාත්තේ මා මිනිහා හැදුවා, එවිට ලෝකයත්ඉබේම හැදුණා යැයි කීවා.
රට දැය සමයට සිය දිවි පුද කළ රෝහණ දේශයට මිණිපහනක් වූ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්දු වහන්සේගේ සංක්ෂිප්ත අපදානය
(1913 ජුනි 21 – 2003 සැප්තැම්බර් 08)
1913 ජුනි මස 21 දා මාතර මඩිහේ දී සම්බුද්ධ ශාසනයේ නවෝන්නතියක් ඇති කිරීමේ පින් මහිම ඇති දරුවෙක් මෙලොව එළිය දුටුවේය. විදුහල්පති වරයෙකු වූ ජෙම්ස් කරෝලිස් පූජිතගුණවර්ධන මහතාණන් සැදැහැවත් මහෝපාසිකාවක වූ බෙලා ඇන්ජලීනා ධීරසේකර මාතාව පිය-මවුන් කොට උපන් ඒ දරුවාට “බෙන්සන් විල්මට් පූජිතගුණවර්ධන” යැයි නම් තැබිණි. පින් ලකුණින් වැඩුනු කුඩා විල්මට් මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත් කැරුනේ මාතර ශාන්ත තෝමස් ඉංග්‍රීසී පාසලටය. පියා ක්‍රිස්තු ලබ්ධිකයෙකු වුවත් සැදැහැවත් මෑණියන්ගේ ආගමික පරිසරය නිසා කුඩා විල්මට් ගේ හිත තදින් ම බැඳී ගියේ පැවිද්ද කෙරෙහි ය. ඒ අනුව 13 හැවිරිදි මේ පිනැති කුල කුමරුවා 1926 ජුනි 24 දා කඹුරුගමුවේ දේවගිරි විහාරයේ දී සද්ධම්ම ජොතිපාල කවිධජ විනයාචාර්ය වේරගම්පිට සිරි ‍රේවත මාහිමියන් වෙතින් මඩිහේ පඤ්ඤාසීහ යන නමින් පැවිදි බව ලැබී ය.
බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසු පූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණෝ වැඩිකල් යන්නට මත්තෙන් කුඩා පඤ්ඤාසීහ හෙරණපාණන් වජිරාරාමයට කැදවා ගත්හ. ආරාමික කුදු මහත් කටයුතු සොයා බලමින් දායකයන්‍ගේ ද ප්‍රසාදය දිනා ගනිමින් ගුරු හිමියන් ඇසුරින් ධර්ම විනය භාෂා ශාස්ත්‍ර හදාළ තුරුණු පඤ්ඤාසීහ හිමියෝ 1933 ජුනි 09 දා වේරගම්පිට සිරි අහංගම පණ්ඩිත සිරි පඤ්ඤාලෝක යන මාහිමිවරුන්ගේ කර්මවාගාචාර්යත්වයෙන් උපසම්පදාව ලැබුහ. පැළෑණේ මාහිමි ගුරු සේවණේ ස්වාධීන ව ධර්මවිනය හා ප්‍රාචීන භාෂා අධ්‍යාපනය ලබමින් වැඩුණු පඤ්ඤාසීහ හිමිපාණෝ 1941 දී මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා විසින් කොළඹ සරසවි විද්‍යා විශාරද පාඨමාලාව හදාරා එම උපාධිය හිමිකර ගන්නට සමත් වූහ. චීනයේ තායිෂු හිමියන්ගේ ආරාධනය පරිදි එරට ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය පිහිටුවීම සදහා 1941 දී වජිරාරාමවාසී සෝම, ඛේමින්ද හිමිවරුන් සමග කළ චීන ධර්මදූත සංචාරය උන් වහන්සේ පසු කළ සිදුකළ මහත් සසුන් සේවාවේ ආරම්භක සංසිද්ධියක් විය.
1951 දී නේපාලයෙහි සංඝ සාමාග්‍රිය වෙනුවෙන් අඛිල නේපාල සංඝ සභාව පිහිටුවීමට මුල් වූ උන් වහන්සේ 1955 දී බුරුමයේ ඡට්ඨ සංගායනාවට ද සහභාගි ව එහි පටිවිසෝධක මණ්ඩලයට ද තේරී පත්වූහ. 1954 දී බෞද්ධ තොරතුරු පරීක්ෂක සභාවේ සාමාජිකයකු ලෙස පත් කෙරුණෙන් සමකාලීන සාමයික හා සාමාජීය ගැටලු පිළිබදව දැඩි උද්‍යොගයකින් ක්‍රියා කළ ගිහි පැවිදි උතුමන්ගේ ආභාසය නිසාත් 2500 බුද්ධ ජයන්තිය නිසාත් ජාතික ප්‍රශ්න කෙරෙහි පුඵල් විචක්ෂණ අවබෝධයක් උන්වහන්සේට ලැබිණ.
ආචාර්යෝත්තම පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමියන් වහන්සේ අපවත් වීමෙන් පසුව 1955.11.21 දින අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක ධූරයට පත් වූ දෙ සාළිස් හැවිරිදි පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේ උත්තම ගුරු පූජාවක් ලෙස අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ සමග ඩී.එල්.එප්.ප්‍රෙද්‍රිස් මැතිතුමා ඇතුඵ සාසන සේවක සමිතියේ අනුග්‍රහයෙන් භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානය (සිරි වජිරඤාණ ධර්මායතනය) පිහිටුවුහ. මේ පැවිදි සහෝදර දෙනම ගේ සම්භක්ත සාසන පදාශ්‍රයේ විපුල ප්‍රතිඵල සදානුස්මරණීය වේ.
නිකාය 23 කට බෙදී ගිය අමරපුර නිකාය එක්සත් සංඝ සභාවක් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් සිදු කළ මඩිහේ මහානාහිමිපාණෝ 1965 දී වොෂින්ටන් බෞද්ධ විහාරය ආරම්භ කිරීමෙන් ඇමරිකාවේ පළමුවරට ථෙරවාදි බුදුසමය ප්‍රතිෂ්ඨාපනය කළහ. එසේම පෞද්ගලික ව පාසල් රජයට ගැනීම, පොහොය නිවාඩු ප්‍රශ්නය, තරුණ අසහනය, දෙමළ ඊළාම් ත්‍රස්තවාදය වැනි බරපතල ජාතික අර්බුදවල දී උන්වහන්සේ නිර්භය ව ජාතියට සැබෑ මාර්ගෝපදේශකත්වය දුන් සේක. මහානාසමිදුන් වහන්සේ දශක සයක් පමණ කාලයක් මුඵල්ලේ “මිනිහා නොහදා රට හදන්න බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන අත්‍යුදාර චින්තනය මතින් බෞද්ධ සමාජ සාරධර්ම පදනම් කරගත් ආර්ථික-අධ්‍යාපනික-සෞඛ්‍ය-සදාචාර යන චතුර්විධ අංශයන් ගෙන් පූර්ණ ලෙස සංවර්ධිත සුන්දර සමාජ පරිවර්තනයක් ඇති කර ගැනීමට අවැසි මාර්ගෝපදේශකත්වය ආදර්ශයෙන් හා දේශනයෙන් මෙන් ම ලේඛනයෙන් ද කිසිදු භේදයකින් තොර ව ඉහළ රාජ්‍යතන්ත්‍රයේ සිට පහළ සමාජස්ථරය දක්වා වූ සැමට සැපයූ සේක. එහෙයින් උන්වහන්සේ සිය උතුම් දිවියෙන් සම්බුද්ධ ශාසනය‍ටත් මානව සමාජයටත් සිදු කළ පරහිතකාමී සාධු සේවාව දෙස් විදෙස්හි වියතුන්ගේ බුහුමනට ද වෙසෙසින් පාත්‍ර විය.
සිය සුපේශල ශික්ෂාකාමී පැවිදි දිවියෙන් මහගු ධර්ම ශාස්ත්‍රිය සේවාවන් සිදු කරමින් සම්බුදුසසුනේ දියුණුව සදහා ඉමහත් කැපකිරීම් කරමින් අමරපුර මහාසංඝ සභාවේ උත්තරීතර මහානායක ධූරයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ “මිනිහා නොහදා රට හදන්න බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උතුම් අදහස ඉදිරිපත් කරමින් සමස්ත බෞද්ධ ලෝකයාටත් ශ්‍රී ලාංකේය ජනතාවටත් ශාසනික, ජාතික හා සාමාජීය වශයෙන් අනුපම වූ යුග මෙහෙවරක් සිදු කරමින් විශේෂයෙන් රෝහණ දේශයට මහත් අභිමානයක් ගෙන දුන් අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමිපාණන් වහන්සේ 91 වන වියෙහිදී 2003.09.08 දින සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය පළ කරමින් සිහි නුවණින් යුතුව අපවත් වූ සේක.