Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

වැඩසටහන් සහ ව්‍යාපෘති - ( 2012 )

බෝ නොවන රෝග මර්දනය කිරිමේ ව්‍යාපෘතිය- 2012
මෙම වසරේ කි‍්‍රයාත්මක කිරිමට සැලසුම් කර ඇති ව්‍යාපෘති අතරින් බෝ නොවන රෝග මර්දනය කිරිමේ ව්‍යාපෘතිය කුරුණැගල දිස්ති‍්‍රක්කයේ ධර්මවිජය සමාජ මුල් කර ගෙන ග‍්‍රාමියව කි‍්‍රයාත්මක වේ.

අපස්මාරය, හෘද රෝග, අධිරුධිර පිඩනය, දියවැඩියාව, පිළිකා, ආඝාත (අංශභාගය) ආදිය නිසා වසරකට මියයන සංඛ්‍යාව විශාල ප‍්‍රමාණකි. ගම්බදව මියයන දස දෙනෙකුගෙන් හත් දෙනෙකු මෙම බෝ නොවන රෝග හේතුවෙන් මිය යන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙම රෝග මර්දනය කළ හැක්කේ මිනිහා දැනුවත් කර මනා අවබෝධයක් ලබාදි ඔහු යහපත් ජිවන පැවැත්මකට පුරුදු පුහුණු කිරිමෙන් හා කලට වෙලාවට රෝග තත්වයන් හඳුනා ගෙන ප‍්‍රතිකාර සඳහා යොමු කරවීමෙනි. මෙම රෝග වලින් කිපයක් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් හා ආහාර ප‍්‍රමිතියක් නොමැතිකමින් හටගන්නා අතර දුම්බීම මත්වතුර හා මත්ද්‍රව්‍ය පාවිච්ච්ය වැනි විනාශකාරී පුරුදු වලට ඇබ්බැහි වී සිටිම ද ඊට හේතු වී ඇත. ප‍්‍රමාණවත් ව්‍යායාම නොමැති විමෙන් ගම්බඳ ජනතාව මෙවැනි රෝගවලට ගොදුරු වන බව ද පැහැදිලිය.

ග‍්‍රාමීය දරිද්‍රතාව මනා සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාමට නොහැකිවිමට හේතුවක් ලෙස බොහෝ දෙනා කරුණු දක්වතත් ග‍්‍රාමිය ජනතාව තමා ලබන කුමන හෝ ආදායම සකසුරුවම් කමකින් හා පුමුඛතා හඳුනා නොගෙන වියදම් කිරීමත් ජිවිතයේ පුමුඛතාවන්ට අඩු වැදගත් කමක් දී තිබීමෙනුත්, අර්ථ විරහිත නාස්තිකාරී දේ සඳහා වැඩි ප‍්‍රමුඛතාවක් දීමෙනුත් දිළිඳුකමින් ගොඩඒම වෙනුවට තව තවත් පහත් අඩියකට වැටීම සිදුවන බව අවධාරණයට ගත යුතුව ඇත. වැඩි වන ජිවන බර සමග මනා ආර්ථික කළමනාකරණයක් පවුල තුළ නොතිබීමෙන් අවසානයේ දී සනීපාරක්ෂාව හා සෞඛ්‍ය තත්වය පවත්වා ගෙන යාමට අඩු වැදගත් කමක් දීම හෝ සම්පුර්ණයෙන් නොතකා හැරීම හෝ කල් දැමීමක් හෝ සිදු කරති. අවසානයේ දී බෝ නොවන රෝග වලට නොදැනීම ගොදුරුවීම චක‍්‍රීය කටයුත්තක අවසාන ප‍්‍රතිඵලය යි. ධර්මවිජය පදනම සියළුම ධර්මවිජය සමාජ සාමාජික සාමාජිකාවන් ආර්ථික වර්ධනය, සෞඛ්‍ය වර්ධනය, අධ්‍යාපන වර්ධනය හා සදාචාර වර්ධනය, සඳහා යොමු කර, මිනිස් මනස ගොඩනැගීමට මහත් වෙහෙසක් දරන්නේ මේ හේතුවෙනි. සෑම සාමාජික පවුලකටම මේ අංශ හතරෙන් ප‍්‍රවේශයක් ලබා දී , " මිනිහා හදාගෙන රටත් හදාගනිමු , " යන තේමාව මුල්කර ගෙන කටයුතු ඉදිරියටත් කර ගෙන යනු ලබයි.

කුරුණෑගල ධර්මවිජය සමාජ 31 ක් සම්බන්ධ කර ගෙන යනු ලබන මෙම ව්‍යාපෘතිය මේ හා බැඳුනු ජාතික වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීමකි. ග‍්‍රාමීය ,පවුල, ආරම්භයේ දි ම වඩාත් ශක්තිමත් ක‍්‍රමවත් ආකාරයකට පත් කර ගැනිමත්, කාලයක් මනාව විමර්ශනය කිරිමෙන් පසු ආර්ථික ප‍්‍රතිඵලය මැන බැලිමත් මෙම වැඩසටහන මගින් සිදු කරනු ඇත. ආරම්භක අවස්ථාවේ දි ම ප‍්‍රශ්නාවලියක් මගින් තොරතුරු රැස් කරනු ලැබේ. වැඩ සටහනක අවසානයේදි ද, එවැනිම ප‍්‍රශ්නාවලියක් මගින් ලබා ඇති ප‍්‍රගතිය සංඛ්‍යා විද්‍යාත්මකව ව්මර්ශනය කෙරේ. බෝ නොවන රෝග මර්දන කිරිමේ කටයුතු භාරව රජය විසින් පත්කර ඇති වෛද්‍යවරුන් සමග නියාමක හා අනෙකුත් පුහුණු කිරිම් හා දැනුවත් කිරිම් සිදුකෙරේ. ධර්මවිජය සමාජ සාමාජික සාමාජිකාවන් හා විහාරස්ථානයේ අධිපති ස්වාමින් වහන්සේ අදාළ ගමේ කි‍්‍රයාකාරි කණ්ඩායම වේ. දෙමාපියන් වැඩිහිටියන් දැනුවත් කිරිම, පවුල තුල යහපත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් හා රටාවක් ගොඩ නැගිම මෙහි වඩාත් වැදගත් පියවර යි. පවුල තුල ගොඩ නගන යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලැස්විම, වරින්වර විමර්ශනයේ යෙදිම හා කාලයකට අනතුරුව ප‍්‍රගතිය විමර්ශනය කිරීම ධර්මවිජය පදනමේ සහභාගිත්වය යි ඒ සඳහා වු බරපැන ධර්මවිජය පදනම දරනු ඇත. ප‍්‍රදේශයේ රාජ්‍ය හා වෙනත් මානව සම්පත් මෙම කාර්යයට දායක කරගනු ඇත. අවසානයේ දි ව්‍යාපෘතිය අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරිමේ වගකිම ක‍්‍රමානුකුලව ප‍්‍රදේශයේ වගකිවයුත්තන් අතට පත් කෙරේ.

ධර්මවිජය පදනමේ භාරකාර සභිකයින්වු විශේෂඥ වෛද්‍යවරු දෙපලක් හා අනෙකුත් භාරකාර සාමාජික සාමාජිකාවන් ගෙන් සමන්විත මුලස්ථාන මට්ටමින් වු කි‍්‍රයාකාරි කමිටුවක් සියළු කටයුතු මෙහෙවයි.

ආරම්භක රැස්වීම 2012 පෙබරවාරි 20 වෙනි දින කුරුණැගල මිල්ලව ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මූලික සැලසුම් කටයුතු වලින් අනතුරුව 2012 මැයි මාසයේ දී ව්‍යාපෘතිය ග‍්‍රාමීය මට්ටමින් ආරම්භ වේ.

ශිෂ්‍යත්ව ආධාර ප‍්‍රදානය කිරිමේ වැඩසටහන
අරමුණ
ඥනාර්ථ ප‍්‍රදීපය දල්වා මෝහාන්ධකාරය දුරුලීමට උදව් උපකාර කිරීම බෞද්ධ ධර්මයට අනුව මහත් ඵල මහානිසංස සම්පන්න වූ පුණ්‍ය කර්මයකි. සහජ බුද්ධි වර්ධනය සැම තුලම පිහිටා නැත. එය ද පූර්ව කර්මඵල වල ප‍්‍රතිඵලයකි. දුර්ලභ වූ එවැනි කුශලතාව උප්පත්තියෙන් රැගෙන මෙලොවට බිහි වූ බොහෝ දෙනෙකුට එය දීප්තිමත්ව දල්වා ගැනීමට අවශ්‍ය අවම ආර්ථික ශක්තිය නැත.

දැඩි තරඟකාරී අධ්‍යාපන රටාවක් ඇති ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා පිවිසිය හැක්කේ, විභාගයට පෙනී සිටින්නන් ගෙන් 2% කටත් අඩු සංඛ්‍යාවකට ය. එයිනිදු වෛද්‍ය, ඉංජිනේරු නීති වැනි වෘත්තීය ක්ෂේත‍්‍රවලට තේරෙන සංඛ්‍යාව 5000 කට අඩු ය. මෙයින් 85% පමණම ගම්බඳ පාසල්වලින් අධ්‍යාපනය ලත් දරු දැරියන් ය. එයිනුත් විශාල සංඛ්‍යාවක් ඇමරිකානු ඩොලර් 3 (රු. 300/-) කට වඩා අඩු දෛනිකව ආදායම් ලබන පවුල් වලිනි. එවැනි ආර්ථික දුර්වලතාවයෙන් පෙළෙන සිසු සිසුවියන්ට මූල්‍යමය සහනයක් සැලසීම ධර්මවිජය පදනමේ පරමාර්ථය යි.
පසුබිම
රජයේ අනුමත පුණ්‍ය ආයතනයක් වූ ධර්මවිජය පදනම වෙත, තම ඉගෙනීම සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය අවම ආර්ථික හැකියාව නොමැති වෛද්‍ය, ඉංජිනේරු, නීති, කලා, වාණිජ වැනි ක්ෂේත‍්‍රවලට අයත් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් රාශියක් ශිෂ්‍යත්ව ආධාර ඉල්ලා විමසුම් එවති. ඔවුන්ගේ ආර්ථික පසුබිම පිළිබඳව තොරතුරු සොයා බැලූ විට ඉතාමත් ඛේදජනක ය. පවුලේ මව නැත. නැතිනම් පියා නැත. නැතිනම් පියා හෝ මව එක්තැන් වූ රෝගීන්ය. පවුලේ දරුවන් පස් හය දෙනෙකි. පවුලේ සියලූ දෙනාම ඉගෙනීමට දක්ෂ ය. මව හෝ පියා කරන දෛනික කුලි රැකියාව එකම ආදායම යි. එක් තැනක මව පොල් අතු වියා, පැදුරු වියා ලැබෙන ආදායමින් එදාවේල සරිකර ගනී. පියා කම්කරුවෙකි. මුරකරුවෙකි. වඩුවෙකි. ඉන්නේ කුලී නිවසක ය. දරිද්‍රතාව ඉහවහා ගොස් ය. දෙමාපියන්ගේ ද එකම බලාපොරොත්තුව දරුවන්ගේ අධ්‍යාපනය තුළින් කවදා හෝ එළිය දැකීම යි.
අවශ්‍යතාවන්
විශ්ව විද්‍යාලයට ඇතුඵ වු සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට විෂය ධාරාවට අවශ්‍ය පොතපත මිලදී ගැනීමට වත්කමක් නැත. නැවතීම් ගාස්තු ගෙවා ගත නොහැක. එදිනෙදා ආහාර වේල මිලදී ගත නොහැක. ලිපිද්‍රව්‍ය මිලදී ගත නොහැක. ගමන් ගාස්තු දැරිය නොහැක. මේ සියල්ල කරගත යුත්තේ මහපොළ ආධාර මුදලින් හෝ ගෙදරින් ලැබෙන සුඵ මුදලකිනි. වෙනත් ආධාරයක් නොමැති නම්, අන්තිමේ දී සිදුවන්නේ ඉහත උවමනා කම් වලින් කොටසක් කපා හැරීම යි. බොහෝ විට අවසානයේ දී සිදුවන්නේ ආහාර, ඇදුම් පැළදුම්, පොත්පත්, ලිපිද්‍රව්‍ය අඩුකර අවමයෙන් ජීවත්ව අධ්‍යාපනයට අප‍්‍රතිහත ධෛර්ය යෙදීම යි. විභාග ප‍්‍රතිඵල වලින් ඉහළ සාමාර්ථ ලබන බොහෝ සිසු සිසුවියන්ගේ ආර්ථික පසුබිම මෙය යි. ජයග‍්‍රහණශීලි මානසික මට්ටමක සිටින මේ සිසු සිසුවියන්ගේ මානසික ශක්තිය නොපිරිහෙළා පවත්වාගෙන යාමට නම් ආර්ථික පසුබිමට යම් අමතර ශක්තියක් දිය යුතු ය.
ධර්මවිජය පදනමේ දායකත්වය
"මිනිහාත් හදාගෙන රට හදා ගනිමු" යන උදාර සංකල්පයෙන් ධර්මවිජය පදනම පිහිටවූ අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤසීහ මහානායක හිමියන් මිනිසා හැදීමේ ක‍්‍රියාදාමයට, ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, සදාචාර යන සතර විධ ප‍්‍රවේශයකින් කටයුතු ආරම්භ කරන ලදි. අධ්‍යාපන අංශයෙන් මූලික වශයෙන් සමාජ සදාචාර වර්ධනය සදහා කැප වී කටයුතු කරන අප ආයතනය, උසස් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ දරිද්‍රතා පිපාසය නිවීම අරමුණු කර ශිෂ්‍යත්ව ආධාර සැපයීමේ වැඩ පිළිවෙලක් ඇරඹීය. මේ වනවිට වෛද්‍ය, ඉංජිනේරු, නීති, කලා වැනි ක්ෂේත‍්‍රවල ඉගෙන ගන්නා සිසුන් 800 කට වැඩි ප‍්‍රමාණයකට මාසිකව රු.1500/- සිට 3000/- දක්වා උපාධිය ලබන තෙක් වසර 3-5 කාලයක් ආධාර පිරිනමා ඇත. ඊට අමතර ඉහළ සාමාර්ථය ලබන දහම් පාසල් සිසුන් හා ද්විතීයික අධ්‍යාපනය ලබන සිසුන්ට අධ්‍යාපන ආධාර ලබාදීම හා ඔවුන් ඇගයීමට ලක් කිරීමත් සිදු කෙරේ.

2012 වසරේ දී ද වෛද්‍ය, නීති, කලා සිසු සිසුවියකට ශිෂ්‍යත්ව පිරිනැමීම පෙබරවාරි මස 28 දින ධර්මවිජය පදනම මූලස්ථානයේ දී සිදු විය. ජායාරූපයෙන් දැක්වෙන්නේ ශිෂ්‍යත්වලාභින් ය.


මසකට රු.1500 - 3000 වැනි මුදලකින් (ඇම. ඩොලර් 15-30) එම සිසුවෙක් මුඵ මාසයක්ම තම අගහිගතාවය පිරිමසාගෙන අඛණ්ඩව ඉගෙනීමේ කටයුතු කරගෙන යාම අප කාගේත් සංතෝෂයට කාරණයකි. විදේශ රටක නම් එම මුදල අයිස්ක‍්‍රීම් එකක, වයින් බෝතලයක මිලට සමාන ය.

කවදා හෝ අප රටේ පුරෝගාමීන් වන මේ බුද්ධිමතුන්ට පිහිටවීම, එලොව මෙලොව විශ්වාස කරන අප කාටත් මහත් කුශලයක් වනු ඇත. අන්‍යයන්ගේ ආධාරය උපකාරය වටින්නේ අවශ්‍ය වෙලාවට එය ලැබුණොත් පමණි. දීම උතුම් දානයක් වන්නේ අවශ්‍ය පුද්ගලයාට, අවශ්‍ය වෙලාවට පරිත්‍යාගශීලීව දීමෙනි.

ධර්මවිජය පදනම සෑම ශිෂ්‍යත්වලාභියකුගේ ප‍්‍රගතිය පිළිබඳව නිරතුරුව සොයා බලයි. ඔහුගේ ඇයගේ විභාග ප‍්‍රතිඵල හා කුශලතාවන් පිලිබඳව වාර්ෂිකව සොයා බැලීමෙන් පසුව පමණක් ආධාර මුදල් නිදහස් කෙරේ. ප‍්‍රතිලාභි ශිෂ්‍ය/ශිෂ්‍යාවට ආධාර දෙන්නන්ගේ කැමැත්ත අනුව ඔවුන් හා තොරතුරු සන්නිවේදනය කිරිමට ඉඩ සලසනු ලබයි. ශිෂ්‍යත්වයක් ප‍්‍රදානය කිරිමට පෙර පවුලේ තොරතුරු, ග‍්‍රාමසේවක සහතිකය, ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේගේ නිර්දේශය හා විශ්ව විද්‍යාල පීඨාධිපතිගේ නිර්දේශය ලබාගෙන සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුසු ප‍්‍රතිලාභීන් තෝරා ගනු ලැබේ.
ඔබත් මේ සඳහා දායක වීමට කැමති නම්
ඔබත් මේ නිම්හිම් නැති උතුම් පුණ්‍යකර්මයට දායක කර ගැනීමට ධර්මවිජය පදනම සැදී පැහැදී සිටී. ඊට ඔබ කළයුත්තේ ;
  • ධර්මවිජය පදනම හා එකගතාවයකට පැමිණ, මාසිකව ආධාර සැපයීම හෝ
  • වාර්ෂික ආධාර මුදල එකවර ධර්මවිජය පදනම හි තැන්පත් කිරීම යි.