Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

වැඩසටහන් සහ ව්‍යාපෘති - (පසුගිය වැඩසටහන්)

ධර්මවිජය පදනම ගිලන් භික්ෂුන්ට පිළිසරණය සදහා
ගිලන් භික්ෂුන් සදහා නේවාසිකව වෛද්‍ය හා හෙද පහසුකම් ලබා ගැනීම සදහා සුදුසු ස්ථාන හා පරිසරයක් බෙහෙවින් සීමා සහිත අවධියක කුරුණෑගල පොල්ගහවෙල වැල්ලව ග‍්‍රාමයේ ශ‍්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානය ඉදරිපත් වෙමින් අසරණ සරණ භික්ෂු නේවාසිකාගාරයක් පිහිටුවීය. මේ සත් කාර්ය සඳහා ආධාර උපකාර කිරීමට ධර්මවිජය පදනම 2009 ඉදිරිපත් විය. කැනඩාවේ පදිංචි මහින්ද ගුණසේකර මහතා මූල්‍යමය ආධාර දීමට ඉදිරිපත් වීම මෙම වැඩසටහනේ සාර්ථකත්වයට හේතු විය.

මෙම භික්ෂු ගිලන් නේවාසිකාගාරයේ රෝගී වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේ 18 නමක් නැවතී ප‍්‍රතිකාර ලබති. පිරිවෙනෙහි සාමණේර හිමියන් නමක් වැඩ වාසය කරති.

බෙහෙවින් දිරාපත් වී ගිය නේවාසිකාගාර ගොඩනැගිල්ල අඵත්වැඩියා කර සීලිමක් ගැසීම, සනීපාරක්ෂක තත්ත්වයෙන් ඉතා පහත් මට්ටමක තිබු වැසිකිලි හා නාන කාමර නවීකරණය කිරීම, ගිලන් භික්ෂුන් පරීක්ෂා කිරීම සදහා වෛද්‍ය නිරික්ෂණාගාරයක් අඵතින් ඉදිකිරිම, ගිලන් භික්ෂුන් වහන්සේලාගේ දාන වැළදීම / පිළියෙල කිරිම සඳහා භාජන ප‍්‍රදානය කිරීම වෙනත් උපකරණ හා වියළි ද්‍රව්‍ය සැපයීම ආදී කටයුතු රාශියක් ධර්මවිජය පදනම මගින් සිදු කරන ලදී. ඕස්ටේ‍්‍රලියාවේ ස්පර් ආයතනයේ ප‍්‍රදානයක් වශයෙන් ලැබූ රෝහල් ඇඳන් 15 ක්, ඇඳට සම්බන්ධ අමතර කොටස් ආදී භාණ්ඩ තොගයක් ගිලන් භික්ෂුන් වහන්සේගේ සැප පහසු පරිහරණය සඳහා පූජා කරන ලදි.

2010/2011 වර්ෂයේ ධර්මවිජය පදනම ශ‍්‍රී බෝධිරුක්ඛාරාමයේ භික්ෂු නේවාසිකාගාරයේ සංවර්ධනය සඳහා දැරූ මුඵ වියදම රු.593,345/- කි.


පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමියන් සුව අතට
අඹේපුස්ස, බෝතලේ ශ‍්‍රී නාලන්ද පිරිවෙනෙහි වාසය කරන පුජ්‍ය උඩස්ගිරියේ සමිත ස්වාමින් වහන්සේ කලක සිට ආතරයිටිස් ඇපකිවිලයිසීන් නමැති රෝගයෙන් පෙලීමේ හේතුවෙන්, බාහිර කෙනෙකුගේ ආධාර උපකාරයක් නොමැතිව ඇවිද යාමට නොහැකි ගිලන් තත්ත්වයකට පත්ව සිටියහ. රාජකීය පණ්ඩිත උපාධිය සමත්ව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කළ පූජ්‍ය සමිත හිමියෝ බෞද්ධ පුරාවස්තු මතු පරපුරට දායාද කරදීමේ අරමුණින් පුරාවස්තු සුරැුකීමේ සංවිධානය පිහිටුවා රටට විශාල සේවයක් සිදු කරමින් සිටී.

දීර්ඝ කාලයක් බලවත් ලෙස ආතරයිටිස් රෝගයෙන් පෙළීම හේතුවෙන් උන්වහන්සේගේ උකුල් ඇට දිරාපත්ව ගොස් ඇවිදිම හා අසුන් ගැනීම පවා අපහසු තත්ත්වයට පත්ව ගිලන් විය.

ධර්මවිජය පදනම වෙත මේ පිළිබඳ කරුණු සැලවීමෙන් අනතුරුව ඒ සඳහා උපකාර කිරිමට කැමති අයගෙන් ආධාර පැතීය. යු.සමරක්කොඩි රු.25,000/-, යු.අතපත්තු මහත්මිය රු.25,000/- හා ජි.පි.හත්තොටුව යුවළ රු.5,000/- කින් අප වෙත ආධාර එවා තිබිණ.

උකුල් ඇට දෙක බද්ධ කිරිමේ වියදම් ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 6 ක් පමණ වන අතර, ධර්මවිජය පදනම මගින් රු.300,000/- ක් ප‍්‍රදානය කරන ලදි. උන්වහන්සේගේ ශල්‍ය කර්මය විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතාගේ අනුග‍්‍රහය හා කැපවීමෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දී සිදු කරන ලදි. තව විශාල මුදලක් ඉදිරියේ දී ඖෂධ හා ශාරීරික අභ්‍යාස සඳහා වියදම් කිරිමට නියමිත ය.

ශල්‍ය කර්මයෙන් පසුව උන්වහන්සේ සුව අතට පත්වෙමින් ශාරීරික ව්‍යායාම වල යෙදෙමින් සිටී. උන්වහන්සේට ඉතා ඉක්මණින් නීරෝගි සුවය පතමු.



ඉංජිනේරු සිසුවකුට ශිෂ්‍යත්වයක්
ඉංජිනේරු රංජිත් ද සිල්වා මහතා විසින් පසුගිය දා රංජිත් ද සිල්වා නමින් ශිෂ්‍යත්ව අරමුදලක් අරඹා ඉංජිනේරු සිසුවකුට මාසිකව ශිෂ්‍යත්ව ආධාරයක් සැපයිමට ධර්මවිජය පදනම හා එකගතාවයකට එළඹිනි. වෘත්තියෙන් ඉංජිනේරුවරයකු වන රංජිත් ද සිල්වා මහතා සෑදැහැවත් බෞද්ධයෙකි. හැකි හැම අවස්ථාවකම ධර්මවිජය පදනම හා එක්ව කටයුතු කිරිමට ඒ මහතා කැමැත්ත පල කළේය. ඉහත ජායාරූපයෙන් දැක්වෙන්නේ රංජිත් ද සිල්වා මහතා එකඟතා ගිවිසුම ධර්මවිජය පදනමේ ගරු සභාපති දේශබන්ධු ඕල්කට් ගුණසේකර මහතාට පිලිගන්වන අවස්ථාවයි. උප සභාපතිවරුන් වන ජේ.පි.කන්නන්ගර මහතා හා සිරිල් ගුණපාල මහතා මේ අවස්ථාවට සහභාගි විය.



ලේ දන්දීමේ වාර්ෂික වැඩසටහන
2004 ජුලි 02 දින සිට ධර්මවිජය පදනම සෑම වසරකම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී පවත්වාගෙන යනු ලබන ලේ දන්දිමේ පිංකම 2011 වසරේ දී ද පවත්වනු ලැබිණ. අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමි ජන්ම දිනය නිමිති කොට පැවැත්වෙන මෙම පිංකමට නුගේගොඩ සීමාසහිත විජය සමුහ ව්‍යාපාරයේ (පුද්ගලික) සහ මහරගම සාසන සේවක සමිතියේ සහභාගිත්වය ලැබිණි.

2011.08.13 දින පවත්වන ලද ලේ දන් දීමේ පිංකම අපවත් වී වදාළ අතිපුජ්‍ය මඩිහේ නාහිමිපාණන්ගේ 98 වන ජන්ම දිනය සනිටුහන් කළ අතර එම දිනය, ධර්මවිජය පදනම සංස්ථාගත කිරිමෙන් පසු එලඹ 32 වන සංවත්සරය ද මෙම වසරට යෙදීම විශේෂත්වයකි.

මෙදින පැවති ලේ දන්දිමේ පිංකමේදී 300 දෙනෙකු පමණ ලේ දන්දීමට ඉදිරිපත් වු අතර ඉන් 250 දෙනෙකු ලේ පරිත්‍යාගය සදහා තෝරා ගනු ලැබිණ. අගෝස්තු මස නිකිණි පුර පසලොස්වකදාට නියම කරනු ලැබු මෙම දානමය පිංකම ඉදිරියේ දී එම දිනයේ දී පවත්වනු ඇත.