Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

පුවත් ලිපි 2013
තන්තිරිමලේ - සඳමල්එළිය ප‍්‍රදේශයේ ජනතාවට පිපාසෙට ජලය
සඳමල්එළිය ග‍්‍රාමය, කොළඹ ධර්මවිජය පදනමට නුහුරු නුපුරුදු ප‍්‍රදේශයක් නොවේ. එදා මහවිලච්චිය ප‍්‍රදේශයට ත‍්‍රස්තවාදීන් පහරදෙන අවස්ථාවේ, ගේ දොර අහිමිව අස්ථානගත වූ සිංහල පවුල් මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තන්තිරිමලේ ග‍්‍රාම නිලධාරි කොට්ඨාශයේ තන්තිරිමලේ මහා විහාරය සම්බන්ධ කරගෙන එහි පදිංචි කරවීය. රත්ගම වැව සංවර්ධනය කර, වැවේ සොරොව්ව අඵතින් ඉඳිකර ගංවතුරින් කැඞී ගිය වැව්වාන තනා පස් පුරවා, පිඩලි අල්ලා සකස් කර අක්කර 25 ක් අස්වැද්දිය හැකි තත්ත්වයට නංවා එදා අසරණ ගොවි ජනතාවට පිහිට වූයේ ඕස්ටේ‍්‍රලියාවේ තරුණ සංවිධානයක ආධාර වශයෙන් ලැබු රුපියල් ලක්ෂ 4 ක් වියදම් කරමින් ධර්මවිජය පදනම දියත් කළ වැඩ සටහන මාර්ගයෙනි.

අවුරුදු 27 කට පසු සඳමල්එළිය ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානය මුල්කර ගනිමින් එම ප‍්‍රදේශයේ ජීවත්වන පවුල් 252 ක් වකුගඩු රෝගයෙන් ගලවා ගැනීමට පානීය ජල ව්‍යාපෘතියක් ධර්මවිජය පදනම විසින් ආරම්භ කළේය. පිරිසිදු පානීය ජලය නොමැතිකමින් වකුගඩු රෝගය බහුලව පවතින මෙම ප‍්‍රදේශයේ වර්ෂයකට මෙම රෝගයෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී. ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ ධර්මවිජය සමාජය මෙම කර්තව්‍ය සඳහා ක්ෂේත‍්‍ර මට්ටමින් යොදා ගන්නා ලදී. කොළඹ ධර්මවිජය පදනම පවුල් 252 සඳහා ලීටර් 1000 ජල ටැංකි 84 ක් නිවාස ආසන්නයේම ස්ථානගත කරන ලදී. පොළව මතුපිට අඩි 1 1/2 ක් උස කොන්ක‍්‍රීට් ආධාරක වළල්ලක් මත ස්ථාපනය කළ ටැංකි 84 දෙසතියකට වරක් පිරිසිදු ජලයෙන් පිරවීමට අනුරාධපුර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග ගිවිසුම්ගත විය. මෙයින් ආවරණය වන ග‍්‍රාම නිලධාරි වසම් 17 කි. ප‍්‍රතිලාභී සංඛ්‍යාව 1300 ක් පමණ වේ. සෑම නිවසකටම වතුර ලබා ගැනීම සඳහා ලීටර් 10 ප‍්‍රමාණයේ කෑන් ලබාදෙන ලදී. වකුගඩු රෝගය පැතිරීම, එම රෝග නිධානය, පානීය ජලය අරපරෙස්සමෙන් පාවිච්චි කිරීම, පවුල් මට්ටමේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පවත්වාගෙන යාම පිළිබඳ දේශන පවත්වා ජනතාව දැනුවත් කරන ලදී. විස්තරාත්මක කරුණු දැක්වෙන පත‍්‍රිකාවක් ප‍්‍රදේශයේ බෙදා හරින ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ධර්මවිජය පදනම රුපියල් ලක්ෂ 17 කට වඩා වියදම් දැරීය. ජල දශක සේවා ආයතනය ඈවර කිරිමෙන් පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 15 ක් හා කැනඩාවේ ශ‍්‍රී ලාංකිකයින්ගේ එක්සත් ජාතික සභාව පරිත්‍යාග කළ රු.210,000/- ක් මේ සඳහා යොදා ගන්නා ලදී. පානීය ජල සැපයුමෙන් නොනැවතුන ධර්මවිජය පදනම ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විදුලි රැහැන් රු.21,000/- වියදමක් දරා අඵත්වැඩියා කරන ලදී. විහාරස්ථානයේ ධර්මවිජය සමාජය මුල් කර ගනිමින්, සෞඛ්‍ය හා පෝෂණ වර්ධන වැඩසටහන්, සාරධර්ම දියුණු කිරිමට දහම් පාසල් අධ්‍යාපනය තවදුරටත් සංවර්ධනය කිරිමේ වැඩසටහන්, වෘත්තිය අධ්‍යාපනය ලබාදිම ඇතුඵ තරුණ තරුණියන් රැකියා ගැන්වීමේ වැඩ සටහන් අරඹා දැනට ක‍්‍රියා කරගෙන යනු ලැබේ.


පුවත් ලිපි
අන්දරවැව ධර්මදුත ආශ‍්‍රමයට පුස්තකාලයක්
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සුරියවැව ප‍්‍රදේශයේ ධර්මදුත ධර්මවිජය සමාජයට රු.112,000/- වියදමින් පුස්තකාලයක් ලබාදීම නොබෝදා සිදුවිය. කොළඹ ධර්මවිජය පදනම මෙම කටයුත්ත සිදුකළේ පීපල්ස් ලීසිං සමාගමේ නොමසුරු මූල්‍ය පරිත්‍යාගයෙනි. ඔවුන් උපයන ලාභයෙන් කොටසක් ප‍්‍රජාවගේ යහපත සඳහා යෙදවේ. එහි ප‍්‍රතිඵලයකි මේ. පොත් අල්මාරි 2 ක්, මේස, පුටු, පුස්තකාල උපකරණ, ලිපිද්‍රව්‍ය හා පුස්තකාල පොත් 200 ලබාදීම මෙම වැඩසටහනට අයත් විය. ඊට අමතරව දහම් පාසලේ දරුවන්, ගුරුවරුන් හා පිරිවෙනෙහි පාවිච්චිය සඳහා පරිගණකයක් ද පරිත්‍යාග කෙරිණි. ළමුන් 20 පමණ පරිගණක අධ්‍යාපනය ලබයි. මීට පෙර ද ධර්මවිජය පදනම විසින් මෙම විහාරස්ථානයේ ගිහි පැවිදි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය නැංවීමට පරිගණක දෙකක් පරිත්‍යාග කෙරිණි.

පුස්තකාලය විවෘත කිරිමේ උත්සවයේ දී පිළිගැනීමේ කථාව හා අනුශාසනය කළ පුජ්‍ය ශාස්ත‍්‍රපති ගලගම ඤාණානන්ද ස්වාමින් වහන්සේ සඳහන් කළේ ධර්මවිජය පදනම 2007 සිට වාර්ෂිකව අභ්‍යාස පොත් සැපයීමෙන්, කොළකැඳ කට්ටල ලබාදීමෙන් හා දාන ශාලාවක් තනාදීමෙන් වරින්වර විහාරස්ථානයේ දියුණුවට විශාල මෙහෙවරක් සිදුකර ඇති බවය. පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තුමා හා ධර්මවිජය පදනමේ භාරකාර සභික ඩග්ලස් ගුණවර්ධන මහතා හා නියෝජ්‍ය ලේකම් නීතිඥ සවන්ති බක්මීවැව මහත්මිය මෙම උතුම් සත්කාර්ය මුදුන් ඵල ගැන්වීමට උරෙන් උර ලා කටයුතු කරන ලදී.

අනිත් හැම කටයුත්තකටම වඩා ධර්ම ඥාණය වර්ධනය කර ගැනීමට උපකාර කිරීම උතුම් පුණ්‍ය ක‍්‍රියාවකි.