Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 මඩිහේ මහනාහිමි ජීවිත කථාව කෙටියෙන්...
1913 ජුනි 21 දා මාතර දිස්ත‍්‍රික්කයේ මඩිහේ ගමේ උපත ලත් අතිපුජ්‍ය මඩිහේ මහනාහිමි වයස අවුරුදු 13 දී පැවිදි බිමට ප‍්‍රවිෂ්ට වුහ. උන්වහන්සේගේ උපාධ්‍යායින් වහන්සේ, අතිපුජ්‍ය වේරගම්පිටියේ ශ‍්‍රී රේවත මහ තෙරුන් වහන්සේ වුහ. බම්බලපිටියේ වජිරාරාමාධිපති අතිපුජ්‍ය පැලෑනේ වජිරඤණ හිමි උන්වහන්සේගේ ආචාර්යපාදයන් වුහ. 1933 දී මඩිහේ නාහිමි උපසපන් වුහ. 1941 දී මඩිහේ නාහිමි, මහචාර්ය ගුණපාල මලලසේකර මහතා යටතේ කොළඹ විශ්ව විද්‍යාලයෙහි දී ලබන ලද අධ්‍යාපනයෙන් පසු 1941 දී විද්‍යා විශාරද උපාධියෙන් පිදුම් ලදහ. 1946 දී පූජ්‍ය ථායි ෂු මහතෙරුන්ගේ ආරාධනා පරිදි, මඩිහේ නාහිමි, වජිරාරාමවාසී සෝම, ඛේමින්ද යන භික්ෂුන් වහන්සේලා දෙනම සමග චීනයට වැඩියහ. එරටට ථෙරවාද බුද්ධාගම හදුන්වාදීම එම ගමනේ අභිප‍්‍රාය විය. මෙය මඩිහේ නාහිමියන්ගේ ප‍්‍රථම ධර්මදූත ගමන විය. 1954 දී බුරුමයේ පවත්වන ලද ඡුට්ඨ සංගායනාවෙහි පඨමක සුධි කමිටුවට පත්කරනු ලැබු උන්වහන්සේ එම අවුරුද්දේ දී ම බෞද්ධ කටයුතු ගවේෂණය සදහා පත් කරන ලද කමිටුවේ සාමාජිකත්වය සහ බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක මණ්ඩලයේ සාමාජිකත්වය ඉසුලූහ.
මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1955 නොවැම්බර් 27 දින අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ නායක පදවියෙන් පිදුම් ලත් මඩිහේ නාහිමි, එවන් සම්භාවණීය තත්ත්වයකින් පිදුම් ලත් වයසින් බාලම භික්ෂුන් වහන්සේ යැයි සදහන් වෙයි.
අප ස්වාමින් වහන්සේගෙන් සිදුවුන විශිෂ්ටතම ශාසන සේවය ලෙස සැලකෙන්නේ කොටස් 21 ලෙස බෙදී සිටි අමරපුර නිකාය එක්කොට ශ‍්‍රී ලංකා අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකාය බිහි කිරීම යි. 1992 දී අප ස්වාමින් වහන්සේ එම නිකායේ මහානායක පදවියෙන් පිදුම් ලද්දෝය.
1958 අපේ‍්‍රල් 21 දා මහරගම ශ‍්‍රී වජිරඤණ ධර්මායතනය ස්ථාපිත කිරීම, අප නාහිමියන්ගේ බුද්ධ ශාසනයේ සේවයට කැපවුණු ජීවිත මාර්ගයේ සැතපුම් කණුවකැ යි කිව හැක.
අම්පිටියේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් ආරම්භයේ සිට දීර්ඝ කාලයක් නායකත්වය දෙමින් මෙහෙය වන ලද මෙම ආයතනය එදා සිටි සෙනට් සභික ඩි.එල්.එෆ්. පේද්‍රිස් මහතාගේ සභාපතිත්වය යටතේ ශාසන සේවක සමිතියේ උදව් උපකාර ඇතිව ප‍්‍රජාවට හා ශාසනයට කළ සේවය සදානුස්මරණීය යි. මෙම ආයතනයේ ප‍්‍රධාන කාර්යය වූයේ ධර්ම විනය අනුව භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීම ය. අදත් භික්ෂුන් වහන්සේලා මෙහි දී එම පුහුණුව ලබති.
1964 දී අතිපුජ්‍ය මඩිහේ මහානාහිමි එකල සාසන සේවක සමිතියේ සම ලේකම් ධුරය දැරූ ඕල්කට් ගුණසේකර මහතා සමග ලෝක අධ්‍යයන චාරිකාවක යෙදුණහ. එයට අනුග‍්‍රාහකත්වය සපයන ලද්දේ ආසියා පදනම විසිනි. මහනාහිමියන් විසින් නායකත්වය දෙමින් ගෙන යන ලද ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන වැඩ සටහන කෙරේ මෙ ආයතනය පැහැදී සිටිම එම අනුග‍්‍රහයට හේතු විය. මඩිහේ මහනාහිමියන්ගේ මෙම චාරිකාව ප‍්‍රථම ථෙරවාද බෞද්ධ පන්සල වන වොෂින්ටන් බෞද්ධ විහාරය ඉදි කිරිම, එක්සත් ජනපද 4එච් ක්ලබ් අනුව තුරුණු සවිය ආරම්භ කිරිම, බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක් බිහිවීම යන කර්තව්‍යයන්ට හේතු කාරක විය.
මහානාහිමියන්ගේ තවත් නව අදහසක් ලෙස පුන් පොහෝ දිනවල වෙන් වෙන්ව අටසිල් සමාදාන වැඩ සටහන් තුනක් එනම් ළමා, තුරුණු සහ වැඩිහිටි යන ත‍්‍රිවිධ කාණ්ඩ සදහා ආරම්භ කිරිම සදහන් කළ යුතු ය.
දිවයිනේ පෙරමුණ ගත් දහම් පාසලක් ලෙස ගෞරවය දිනාගෙන සිටින මහරගම සිරි වජිරඤණ දහම් පාසල, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000 ක් දහම් දැනුම ලබන මඩිහේ මහනාහිමියන්ගේ මග පෙන්විම හා අනුශාසකත්වය යටතේ වැඩුණු තවත් ආයතනයකි.
බුද්ධ ශාසන කටයුතු සදහා ස්ථාපිත සාසන සේවක සමිතියට සමාන්තරව ධර්මවිජය පදනමට මහනාහිමියන් විසින් පුරෝගාමිත්වය දෙන ලද්දේ ප‍්‍රජා වැඩ කටයුතුවලට සහ ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා සදාචාර යන සතර වැදෑරුම් වු සමාජ සංවර්ධනය හා උන්නතිය ඉලක්ක කොට ගෙන ය. ආරම්භයේ සිට එහි අනුශාසකත්වය දැරූ මහනාහිමි, ධර්මවිජය පදනම භාරකාරවරුන් හැම බ‍්‍රහස්පතින්දා දින පැවැත්වු රැස්වීමකටම පැමිණීම කිසි විටක අමතක කළේ නැත. ස්වාභාවික වේවා මිනිසුන් විසින් ඇති කරන ලද වේවා හැම විපතකදී ම සහන සැලසීමට විශේෂිත සංවිධාන තිබිය යුතු යැයි කී උන්වහන්සේගේ බුද්ධිමත් සංකල්පනයේ වැදගත්කම සුනාමි ව්‍යසනයේ දී මැනවින් ස්ඵුට විය.
ආගමික හා ශාස්ත‍්‍රීය ක්ෂේත‍්‍රයන්හි මහානාහිමි යන්ගේ පුරෝගාමිත්වය කැපී පෙනුණේය. ත‍්‍රිපිටක ධර්ම කෝෂයට සහ පාළි, සිංහල හා ඉංග‍්‍රිසි ශබ්දකෝෂයට උන්වහන්සේ පුරෝගාමී වුහ. කොටස් වශයෙන් කරන ලද මේවායේ මුද්‍රිතයන් බොහෝ ය. ජාතික ප‍්‍රශ්නවල දී හා බුද්ධ ශාසනයට අදාළ කරුණුවල දී මහනාහිමියෝ අභීතව හඩ නැගූහ. අනවරතව උන් වහන්සේගේ අත රැඳුණු පෑන උන්වහන්සේගේ ප‍්‍රබල අවිය විය.
ජාතියේ සාධුගුණ, ජාතික සමගිය, සදාචාරාත්මක නොවන ආගම්කරණය, දුප්පත්කම තුරන් කිරීම, දුම්වැටි හා මත්පැන් භාවිතය ඉහළ මට්ටමක තිබීම සහ මේ තත්ත්වය මැඩ පැවැත්වමට රජය මැදිහත්විය යුතු බව, ජනගහණ ප‍්‍රතිපත්තිය හා උපත් පාලනය, සංඝ සමගිය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා පෝෂණය, සංවර්ධන න්‍යාය යන මේ අංශ යටතේ මහනාහිමියන් විසින් ලියන ලද ලිපි සිය ගණනකි.
මඩිහේ නාහිමියෝ ජාතික සංවිධාන 20 ක අනුශාසකයාණෝ වූහ. මහා සංඝයා වහන්සේ, දේශපාලන නායකයෝ සහ මහජනතාව උන්වහන්සේගේ අවවාද, උපදෙස් නිරතුරුව පැතූහ.
අවුරුදු 70 ක් පුරා විහිදි මහානාහිමියන්ගේ පැවිදි දිවිය තුළ කරන ලද අනගි සේවය අගයමින් බුද්ධ ශ‍්‍රාවක ධර්ම පීඨය විසින් ප‍්‍රවචන විශාරද යන ගෞරව නාමය උන්වහන්සේට ප‍්‍රදානය කරනු ලැබිණ. පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා තායිලන්තයේ චූලා ලංකෝන් විශ්ව විද්‍යාලය පි.එච්.ඩි.උපාධිය පිරිනැමීය.