Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ධර්ම දේශණා
සදහම් සයුරෙන් අමා දිය බිඳක්

"වර්ණයෙන් හෝ රූපයෙන් මිනිසා හඳුනාගත නොහැකිය. දැකීම් පමණකින් විශ්වාස නොකළ හැකිය. සංයම වූ අයගේ තවුස් පිරිකරවලින් සංයම නොවූ අය මෙලොව හැසිරෙති, යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක."


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි වැඩ සිටි සමයේ දිනක් කොසොල් මහරජතුමා එහි පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙකින් හිඳ ගත්තේ ය. ඒ අවස්ථාවේ ජටිලයෝ හත් දෙනෙක් ද අවේලකයෝ හත් දෙනෙක් ද නිගණ්ඨයෝ හත් දෙනෙක් ද ඒක සාටකයෝ හත් දෙනෙක් ද බුදුරදුන් වැඩ සිටි ස්ථානයෙන් ම ගමන් කළහ. එවිට කොසොල් රජතුමා නැගිට ඔවුන් වැඳ මම කොසොල් රට වෙමියි තෙවරක් කීවේය. රජතුමා ඔවුන් ගිය පසු ඔවුහු රහත් වෙතියි බුදුරදුන්ට සැළ කළේය. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මිනිසා හඳුනා ගන්නා ආකාරය රජුට පැහැදිලි කළ සේක.මේ ලෝකයේ ජීවත්වන මිනිස්සු විවිධ ය. භින්නරුචිකයෝ ය. එබැවින් එසේ වු අයගෙන් සුචරිතවත් පුද්ගලයකු හඳුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. අපගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතය යහමඟට ගැනීම සත්පුරුෂ පුද්ගල ආශ‍්‍රය අතිශයින් ම වැදගත් ය.


මෙබඳු විවිධත්වයෙන් යුතු මිනිස් වර්ගයා සිටින බැවින් බාහිර පෙනුමෙන් හා දැකීම් මාත‍්‍රයෙන් පමණක් කෙනෙකු හඳුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එබැවින් බුදුරජාණන් වහන්සේ පුද්ගලයකු හඳුනා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණු හතරක් දේශනා කළහ. එනම් ශීලය හෙවත් හැදියාව, පිරිසිදු බව, ඥාන ශක්තිය හා ප‍්‍රඥාව යි. මිනිසා තුළ ඇති මෙම ගති පැවතුම් දැක හඳුනා ගත හැක්කේ සියුම් පරීක්ෂාවක යෙදීමෙනි. එනම් ඇසුරු කිරීමෙනි. ඇසුරු කිරීම ද දවසක් දෙකක් නොවේ. එය ටික කාලයක් දිගට ම කළ යුත්තකි. එසේ කළත් මනා සිහි ඇති නුවණැත්තන්ට පමණක් ම දැන ගත හැකි වන්නේ ය. එහෙයින් කෙනෙකුගේ රූපයට හා වර්ණයට පමණක් වහල් නොවී බාහිර කරුණු පමණක් පාදක කර නොගෙන, උක්ත කාරණාවන්ගෙන් යුක්තව විමසා බලා සත්පුරුෂයන් හඳුනා ගැනීමට උත්සාහවත් වීම බුද්ධිගෝචර වේ.


සදහම් සයුරෙන් අමා දිය බිඳක්

"මහණෙනි, බුදුවරුන් පිළිබඳ බුද්ධ විෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. ධ්‍යායීහු පිළිබඳ ධ්‍යාන විෂය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. කර්මවිපාකය සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. ලෝකචින්තාව සිතන්නට නොයුතුය. එහෙයින් ම නොසිතිය යුතුය. මේ කරුණු සිතනුයේ උමතුබවට දුකට හේතු වේ, යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක."


බුදුරජාණන් වහන්සේ හැර වෙනත් අයෙකු විසින් නිවැරදිව වටහාගත නොහැකි, එසේම දිගින් දිගට ම සිතන්නට ගියහොත් උමතුබවට දුකට පත් කරවන අචින්තෙය්‍ය ධර්ම සතරකි. එනම් බුද්ධ විෂය, ධ්‍යාන විෂය, ලෝක විෂය, කර්ම විපාක විෂය වේ.


බුදුගුණ අනන්තයි. සිතා කියා නිම කළ නොහැකි ය. බුදුවරයකු විසින් එවැනිම බුදුවරයකුගේ ගුණ සිහිපත් කළත් නිමාවක් දැකිය නොහැකි ය. ධ්‍යාන විෂය සම්බන්ධයෙන් ද එසේම ය. බුදු දහමට අනුව ලෝකය වශයෙන් සැලකෙන්නේ පසිඳුරන්ගෙන් සැදුම්ලත් අපේ ශරීරය යි. එම ලෝකය මෙහෙයවනු ලබන්නේ සිත විසිනි. පරමාර්ථ වශයෙන් එසේ වුවත් සම්මුති වශයෙන් ගත් කළ ලෝක ධාතුව ද අචින්ත්‍ය වේ. සත්ත්වයා අනන්තවත් දුක් ගැහැට විඳිමින් සසර සැරිසරන්නේ කර්ම බන්ධනය නිසයි. කර්ම විෂය ද අචින්ත්‍ය ධර්මයකි. බුදු දහමෙහි ඉගැන්වෙන මෙකී අචින්ත්‍ය ධර්ම, සාමාන්‍ය පුහුදුන් පුද්ගලයාට සිතා අවසන් කිරීම කළ නොහැකි බවත්, එම සතර ධර්මයන් ඉතා ගැඹුරින් මෙන්ම බුදුනුවණින් ම පමණක් ම අවබෝධ කළ යුතුය


සදහම් සයුරෙන් අමා දිය බිඳක්

"මහණෙනි, යම් රැයෙක තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යාවබෝධය කරන සේක ද, යම් රැයෙක පිරිනිවන් පානා සේක් ද, මේ අවස්ථා දෙක අතර යමක් දෙසන සේක් ද, තෙපලන සේක් ද, නිර්දේශ කරන සේක් ද, ඒ හැම එපිරිදි ම වෙයි. වෙනස් නොවෙයි. එයින් තථාගත යැයි කියනු ලැබේ., යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක."


බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හැඳින්වීම සඳහා නිතර භාවිත කළ වචනය නම් තථාගත යන්න යි. පෙර බුදුවරුන් පැවැත ආ මඟ නොකඩ කොට පැමිණි බැවින් ,තථා ආගතෝති තථාගතෝ, තථාගත නම් වෙති. අතීත බුදුරජාණන් වහන්සේලා අනුගමනය කළ පරිදි අනුගමනය කළ නිසා ,තථා ගතෝති තථාගතෝ, තථාගත නම් වෙති. භාග්‍යවතුන් වහන්සේ නාමරූප ධර්මයන්ගේ තථ ලක්ෂණය, නියම ස්වභාවය ඇති සැටියෙන් ම දැන සිටි බැවින් ,තථලක්ඛණං ආගතෝති තථාගතෝ, තථාගත නම් වෙති. සතර ආර්ය සත්‍යයෝ ඇති සැටියෙන් ම අවබෝධ කළ බැවින් ,තථධම්මේ යථාවතෝ අභිසම්බුද්ධෝති තථාගතෝ, බුදුරජාණන් වහන්සේ තථාගත නම් වෙති.


දිව්‍යමනුෂ්‍යාදි සත්ත්වයන්ගේ සසිඳුරන්ට ගොදුරු වන සියල්ල ඇති සැටියට ම දක්නා බැවින් ,තථ දස්සිතාය තථාගතෝ, බුදුරජාණන් වහන්සේ තථාගත නම් වන සේක. බුදුරජාණන් වහන්සේ අපරාජිත බෝධි මූලයේ වැඩ හිඳ පස්මරුන් පරදවා ලොව්තුරා බුදුබවට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීම දක්වා වූ ඒ අතර කාලයේ දී යමක් දෙසන ලද නම් ඒ සියල්ල එසේම වන බැවින් ,තථාවාදිතාය තථාගතෝ, බුදුරජාණන් වහන්සේ තථාගත වන සේක.ලෝකයේ බොහෝ දෙනා එකක් කියමින් අනිකක් කරති. බුදුරජාණන් වහන්සේ යමක් කියන සේක් නම් ඒ ආකාරයෙන් කරති. ,තථා කාරිතාය තථාගතෝ, එබැවින් උන් වහන්සේ තථාගත නම් වන සේක. බුදුරජාණන් වහන්සේ නොවරදින සත්‍ය බෙහෙත වූ ධර්මය නමැති බෙහෙතින් දිව්‍යමනුෂ්‍යාදි සියලූ පිරිස් අභිභවනය කිරීමට සමත් හෙයින් ,අභිභවනට්ඨේන තථාගතෝ, තථාගත නම් වන සේක.


සදහම් සයුරෙන් අමා දිය බිඳක්

"මහරජතුමනි, ක්ෂත‍්‍රියයා වනාහි ළදරු යැයි අවමන් නො කළ යුත්තේ ය. පරිභව නො කළ යුත්තේ ය. සර්පයා වනාහි ළදරු යැයි අවමන් නො කළ යුත්තේ ය. පරිභව නො කළ යුත්තේ ය. ගින්න වනාහි ළදරු යැයි අවමන් නො කළ යුත්තේ ය. පරිභව නො කළ යුත්තේ ය. භික්ෂුව ළදරු යැයි අවමන් නො කළ යුත්තේ ය. පරිභව නො කළ යුත්තේ ය. මහරජතුමනි, මේ සතර දෙනා වනාහි ළදරු යැයි අවමන් නො කළ යුත්තා හ. පරිභව නො කළ යුත්තා හ., යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක."


පසේනදී කොසොල් රජතුමා දෙව්රම් වෙහෙරට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ පුදා සතුටු සාමිචී කතා කොට උන් වහන්සේට මෙසේ සැළ කළේ ය. භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය, අවබෝධ කළේ යැයි ප‍්‍රකාශ කරන සේක් ද? මහරජ, මම වනාහි අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළෙමි යැයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.


අනතුරුව බුදුරජාණන් වහන්සේ අමතා, පූර්ණකස්සප, මක්ඛලී ගෝසාල, නිගණ්ඨනාථ පුත්ත, සඤ්ජය බෙල්ලට්ඨි පුත්ත, පකුධකච්චායන, අජිත කේසකම්බිලි යන අයත් සම්බුද්ධත්වය අවබෝධ කළෙහි දැයි මා විසින් විමසා සිටි අවස්ථාවේ එය අවබෝධ නො කෙළෙමි යැයි කීහ. වියපත් බැවින් බාල වුවත් ඔබ වහන්සේ බුද්ධත්වය අවබෝධ කළ බව ප‍්‍රකාශ කරත්. එයට හේතුව කුමක්ද ? එවිට බුදුරජාණන් වහන්සේ, "මහරජතුමනි, සිවු දෙනෙකු වයසින් බාල යැයි අවමන් නො කළ යුතු ය. පරිභව නො කළ යුතු ය යැයි" දේශනා කළහ.


1. කැත් කුමරා ළදරු යැයි අවමන් නොකළ යුත්තේ ය. ඔහු රජකමට පත් වූ විට තමාට අවමන් කළ පුද්ගලයාට දඬුවම් පමුණුවන්නේ ය.
2. සර්පයා කුඩා වුවත් අවමන් නොකළ යුත්තේ ය. ඌ දෂ්ඨ කළ විට ශරීරය පුරා විෂ පැතිර මරණයට පත් වන්නේ ය.
3. ගින්න කුඩා යැයි අවමන් නොකළ යුත්තේ ය. කුඩා ගින්නකින් වුවත් එය පැතිර මහා විනාශයක් කරන්නේ ය.
4. සිල්වත් පැවිද්දාට කුඩා යැයි අවමන් නොකළ යුත්තේ ය. ඔහුගේ සිල්වත් ගුණවත් බැවින් අවමන් හා පරිභව කළ බැවින් මුදුනසුන් තල් රුකක් සේ විනාශයට පත් වන්නේ ය.


"මහණෙනි, යහපත් ගුරුවරයා ගෝලයා කෙරෙහි පුත‍්‍ර චිත්තය (පුත‍්‍රයා කෙරෙහි පිරිනැමිය යුතු පෙම් සිත) පිරිනමන්නේ ය. යහපත් ගෝලයා ද ගුරුවරයා කෙරෙහි පිතු චිත්තය, පියා කෙරෙහි පිරිනැමිය යුතු ගෞරව චිත්තය පිරිනමන්නේ ය. මෙසේ ඔවුනොවුන් ගරුතන්හිලා සලකන්නා වූ ගුරුසිසු දෙපස මේ ධර්මවිනය සංඛ්‍යාත ශාසනයෙහි දියුණුවට පැමිණෙන්නාහ."


මේ දේශනයෙන් පැවිදි ගුරු සිසුන් අතර පිය පුතුන්ගේ සබැඳියාවට සමාන සබැඳියාවක් තිබිය යුතු යැයි දේශනා කොට ඇත. ගිහි ගුරු සිසුන් අතර ද එම පියපුතු සබැඳියාවට සමාන සබැඳියාවක් පැවතුණොත් එය හැම යහපතට හේතුවන බව ඉතා පැහැදිලි කරුණෙකි. ගුරු සිසුන් වශයෙන් ඔවුනොවුන් කෙරෙහි නොසැලෙන විශ්වාසයක් ඇතිවීම, ආදර ගෞරව ඇතිවීම, ආචාර සම්පන්න වීම, දෙපසම මහත් උනන්දුවෙන් තම තමනට අයත් කාර්යභාරය මැනවින් සම්පුර්ණ කිරීම දෙපසේම දියුණුවට හේතු වේ.


බුදු සසුනෙහි ගුරුවරයා සිසුවා කෙරෙහි පුත‍්‍ර සෙනෙහසින් කටයුතු කළයුතු අතර සිසුවා තම ගුරුවරයා කෙරෙහි ද එසේම පිය සෙනෙහසින් කටයුතු කළයුතු වේ. මෙසේ ක‍්‍රියා කිරීමෙන් ගුරු සිසු සබඳතාවය ඉතා හොඳින් තහවුරු වේ. සසුනේ චිර පැවැත්මට මෙම සබඳතාවය අතිශයින් වැදගත් වේ.


යම්කිසි කුඩා භික්ෂුන් වහන්සේ නමක් බුදු සසුනෙහි මනා කොට යෙදෙත් නම් වලාකුළින් මිදුණු සඳ ලොව බබුළුවන්නා සේ උන් වහන්සේ ලෝකය එළිය කරන සේක යනු බුද්ධ දේශනාවයි.සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, බබුළුවන පිරිස භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා යැයි සිවුවැදෑරුම් වේ. එයින් භික්ෂුන් වහන්සේ ම ප‍්‍රධාන වෙති. ලෝකයාට ඉතා උසස් පින්කෙත වන්නේ පැවිදි පුද්ගලයා ය. ජාතියේ මුරදේවතා, දැයෙහි ආරක්ෂකයා, කුලදේවතා, පවුලෙහි දෙවියා යන දෑහිතකාමී ඉතා කුළුපග ගෞරව නාම සම්මුතීන්ගෙන් පිදුම් ලබන්නේ ද නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන පොදු ජාතික වස්තුවක් වශයෙන් භික්ෂුන් වහන්සේ පිළිගත් බැවිනි.


සදහම් සයුරෙන් අමා දිය බිඳක්

"මහණෙනි, සඳ මඩල බබළන්නේ ආවරණය වූ විට නොවේ විවෘත වූ විට ය. මහණෙනි, හිරු මඩල බබළන්නේ ආවරණය වූ විට නොවේ විවෘත වූ විට ය. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය හා විනය විවෘත වූයේ බබළයි. වැසුනේ නො බබළයි. යනු බුද්ධ දේශනාව යි."


බුදුරජාණන් වහන්සේ විසින් උතුම් සද්ධර්මය දේශනා කළේ සත්ත්වයාට සියලූ දුකින් නිදහස්වී නිර්වාණාවබෝධය කිරීමේ ඒකායන මාර්ගය වශයෙනි. එහෙයින් දුකින් නිදහස් වී නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස ඉතා විවෘත ලෙස හා බුද්ධිමත් ලෙස ධර්මය සේවනය කළ යුතු ය. ධර්මයෙහි කිසිදු රහසක් හෝ ගුප්ත ක‍්‍රමයක් නැත.


ලෝකයෙහි පවත්නා මෙම කරුණු තුනෙහි බැබලීම තිබෙන්නේ ආවරණය වූ විට නොවේ. විවෘත වූ විට ය. සඳමඩල මෙන් ම හිරු මඩල වළාකුඵ, දුම්, මීදුම ආදියෙන් ආවරණය වූ විට බැබලීම සිදු නොවේ. එසේ ම තථාගතයන් වහන්සේ විසින් අවබෝධ ඤාණයෙන් යුතුව පෙන්වා වදාළ ධර්ම විනය දෙක බබළන්නේ වැරදි අර්ථකථනයන් ගෙන් හා වැරදි විවරණයන් ගෙන් ආවරණය වූ විට නොවේ. සත්‍යයම විවෘත වූ විට ය.


ලෝකයෙහි පවත්නා මෙම කරුණු තුනෙහි තිර පැවැත්ම රඳා පවතින්නේ ආවරණය වී පවත්නා තෙක් පමණි. විවෘත වූ කල්හි පැවැත්මක් නැත. එනම් ස්ත‍්‍රියකගේ පැවැත්ම තිබෙන්නේ (සංවර වීමෙන්) ආවරණය කරගත් විට ය. බමුණන්ගේ මන්ත‍්‍රවලට පැවැත්මක් තිබෙන්නේ (රහස් ධර්මයක් ලෙස) ආවරණය කරගත් විට ය. මිථ්‍යාදෘෂ්ඨියට පැවැත්මක් තිබෙන්නේ (සත්‍යය මතු නොවන පරිදි) ආවරණය කරගත් විට ය. විවෘත වූ විට පැවැත්මක් නැත.


එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මය සූත‍්‍ර ධර්ම තුළින් ම විමසා බලා අවබෝධ කරගත යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම නුවණැත්තන් උදෙසාම පමණක් බවත් අනුවණ පුද්ගලයන් උදෙසා නොවන බවත් දේශනා කොට වදාළේ එබැවිනි.


සදහම් සයුරෙන් අමා දිය බිඳක්

"මහණෙනි, සත්පුරුෂ දානයෝ පස් දෙනෙකි. ශ‍්‍රද්්ධාවෙන් දන් දෙයි. සකස් කොට දන් දෙයි. නිසි කල්හි ම දන් දෙයි. දෙන දෙයෙහි සිත් බැඳුම් නැතිව දන් දෙයි. තමාගේ ද අනුන්ගේ ද සිත් නො තළා දන් දෙයි. යනු බුද්ධ දේශනාව යි."


ශ‍්‍රද්ධාවෙන් දන් දීම යනු කර්ම ඵල විපාකය කෙරෙහි විශ්වාසයෙන් දන් දීම යි. ආහාරපාන ආදිය දන් දීමෙන් මතු සසර කවදාකවත් සාපිපාසාදියකට පත් නොවී නිවන් අවබෝධ කර ගන්නා තුරු ම සුවසේ වාසය කිරිමට අවස්ථාව ලැබෙයි. දන් දෙන විට දානය ලබන ප‍්‍රතිග‍්‍රාහකයාගේ පහසුව පිණිස දානය සකස් විය යුතු අතර දෙන තැනැත්තාගේ සිතත් සකස් විය යුතු ය. බුදුරදුන් වැඩ සිටි සමයේ දාන සංවිධාන කිරීම සඳහා ගිහි පක්ෂයෙන් බොහෝ අවස්ථාවල ඉදිරිපත් වුයේ අනාථපිණ්ඩික සිටුවරයා හෝ විශාඛා මහෝපාසිකාව වේ. මේ කටයුතු සකස් වුයේ ප‍්‍රතිග‍්‍රාහකයාට ලැබෙන දානය කැපසරුප් ආකාරයෙන් ම සකස් විය යුතු නිසා ය.


කාලික දානය යනු කාලානුරූප දෙනු ලබන දානය යි. තැනට සුදුසු නුවණ යොදාගෙන කළයුතු දාන පින්කමකි. කාලික දන් දීමෙන් නිවන් අවබෝධ කරගන්නා තුරු සසරේදී සුදුසු කාලයේ සුදුසු දේ ලැබෙයි සුදුසු තැනට සුදුසු දේ කරන්නට හැකියා ලැබෙයි. දානයෙහි අනග්ගහිත චිත්තය යනු දන් දෙන වස්තුව කෙරෙහි තෘෂ්ණාව නැතිව කර්ම ඵලය කෙරෙහි විශ්වාසයෙන් දන් දිය යුතු ය. තමන් දෙන වස්තුව කෙරෙහි හෝ අනාගතයෙහි ලැබෙන සැප සම්පත් කෙරෙහි ඇල්මෙන් තොරව දිය යුතු ය.


දානාදි උතුම් පින්කම්වල දී තමන්ගේ හා අන් අයගේ සිත් සතුටට පත් කරමින් දානාදී පින්කම් කළ යුතු ය. පළමු කොට කර්මය හා කර්ම ඵලය කෙරෙහි විශ්වාසය තබා තමන් දන් දෙන වස්තුවේ ඇති ධාර්මික බව සිහිපත් කරන්න. දානයට සහභාගි වන සෙසු පිරිසේ ද සිත් සතුටු කරන්න. සිල්වත් ගුණවත් උතුමන් අරමුණු කරගෙන, තමනුත් ශීලයක පිහිටා සිට, සෙසු පිරිසත් සහභාගි කරවාගෙන දන් දෙන විට ඒ දානය මහත්ඵල වෙයි. මහත් ආනිසංස ගෙන දෙයි. මෙසේ දෙනු ලබන දානයන් ගෙන ලැබෙන ආනිසංස නම් මහද්ධනෝ මහාභෝගෝ හෝති, අභිරූපෝ ච හෝති, දස්සනීයෝ පාසාදිකෝ පරමාය වණ්ණපෝක්ඛරතාය සමන්නාගතෝ මහත්ධන ඇතියේ, මහත්භෝග ඇතියේ වෙයි. රූප සෞන්ධර්යයෙන් යුක්ත වූයේ, දැකුම්කඵ වූයේ, පාසාදික ලක්ෂණයෙන් යුක්ත වූයේ, අභිරූප ද වෙයි.


බුදුරදුන්ගේ මහාකාරුණික අවවාද

අනතුරුව භාග්‍යවතුන් වහන්සේ, භික්ෂූන් අමතා, බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ ධර්මය පිළිබඳව හෝ සංඝයා පිළිබඳව හෝ මාර්ගය පිළිබඳව හෝ ප‍්‍රතිපදාව පිළිබඳව කිසියම් සැකයක් හෝ විමතියක් එකම එක භික්ෂුවක් තුළවත් ඇත්නම් විමසන්න. ශාස්තෘන් වහන්සේ අපට මුහුණට මුහුණ හමුවන සේක. එහෙත් උන් වහන්සේගෙන් විමසීමට අපට නොහැකි විය යැයි පසුව පසුතැවෙන්න එපා යැයි දේශනා කළහ. මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ විට භික්ෂූහු තුෂ්ණීම්භූත වූහ. බුදුරජාණන් වහන්සේ, දෙවැනි තෙවැනි වරටත් භික්ෂූන් වහන්සේට දන්වා සිටියත් ඔවුන්ගෙන් ප‍්‍රතිචාරයක් නොලද බැවින් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසා හෝ එසේ නොවිමසනවා නම් මිත‍්‍ර භික්ෂුවක මාර්ගයෙන් හෝ අසා දැන ගන්නා ලෙස දන්වා සිටිය හ


එය දුටු ආනන්ද තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්ස, මහත් ආශ්චර්යයකි. මහත් පුදුමයකි. මෙහි වැඩ සිටින පන්සියයක් පමණ වූ භික්ෂු සංඝයා අතර එක ද භික්ෂුවකට වත් බුද්ධාදීන් කෙරෙහි සැකයක් නැතැයි දන්වා සිටිය හ. එවිට භාග්‍යවතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ පිළිබඳව හෝ සංඝයා වහන්සේ පිළිබඳව හෝ මාර්ගය පිළිබඳව හෝ ප‍්‍රතිපදාව පිළිබඳ එකම එක භික්ෂුවක් තුළවත් කිසියම් සැකයක් හෝ විමතියක් නැතැයි භික්ෂු සංඝයා කෙරෙහි පැහැදීමට පැමිණ (ඉමේසං හි ආනන්ද, පඤ්චන්නං භික්ඛු සතානං යෝ පච්ඡුමකෝ භික්ඛු සෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායණෝති) එහි රැස්ව සිටි පිරිසෙහි පශ්චිමයා පවා අපාය ආදී දුගතියකට පත් නොවන, නියත වශයෙන් ම සම්බෝධියට පත්වන සෝතාපන්න පුද්ගලයකු බව වදාළ සේක.


බුදුරදුන්ගේ මහාකාරුණික අවවාද

"සුභද්ද මේ ධර්ම විනයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබේ. සුභද්ද, ශ‍්‍රමණයා මෙහි ම ය. දෙවන ශ‍්‍රමණයා මෙහි ම ය. තෙවන ශ‍්‍රමණයා මෙහි ම ය. සිවුවන ශ‍්‍රමණයා මෙහි ම ය. ශ‍්‍රමණයන් නැති හෙවත් ශ‍්‍රමණයන් ගෙන් තුරන් වූ අන්‍ය වාදයෝ හිස් ය. සුභද්ද, යම්තාක් කල් මේ භික්ෂූහූ මනාව වසන්නාහු ද, ඒ තාක් ලෝකය රහතුන්ගෙන් නො හිස් වන්නේ ය."


බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින අන්තිම අවස්ථාවේ සුභද්ද නම් පිරිවැජියා කිසියම් කරුණු කිහිපයක් පිළිබඳව සැක හැර දැන ගැනීම සඳහා පැමිණියේ ය. එහි සිටි අනඳ හිමියන් හමුව සාකච්ඡා කළත් ක්ලාන්තව හා වෙහෙසට පත්ව සිටි නිසා බුදුරදුන් බැහැ දැකීම සඳහා අවස්ථාවක් නොලැබිණ. දෙවන තෙවන වරටත් ආයාචනා කළ නමුත් ප‍්‍රයෝජනයක් නොවීය. සුභද්දගේ ආයාචනය දැනගත් මහාකාරුණික බුදුරජාණන් වහන්සේ සුභද්ද තමන් වහන්සේ වෙහෙසීමට නොව, යමක් දැන ගැනීමට ආ බව තේරුම් ගෙන, ඔහුට හමුවීමට අවසර ලබා දෙන මෙන් අනඳ හිමියන්ට කීහ.


බුදුරදුන් හමු වූ සුභද්ද පිරිවැජියා බුදුරජාණන් වහන්සේගෙන් පූර්ණකස්සප ආදී වූ සියලූ ශාස්තෘවරු තමන් ප‍්‍රතිඥා කළ කරුණු හරි හැටි දත්තාහු ද? නො දත්තාහු ද? විමසා සිටියේ ය. සුභද්දගේ දිගු ප‍්‍රශ්නාවලිය පිළිබඳව නිහඩතාවය අනුගමනය කළ බුදුරජාණන් වහන්සේ, යම් ධර්ම විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය නැද්ද, එහි සෝවාන්, සකෘදාගාමි අනාගාමි, අර්හත් යන මාර්ගඵලවලට පැමිණෙන්නෝත් නැත. මාගේ ධර්ම විනයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇත. සෝවාන් ආදී වූ මාර්ග පළවලට පැමිණෙන්නෝත් ඇත. මෙබඳු මාර්ග ඵල ලාභීන්ගෙන් හිස් වූ වාද හිස් ය. එසේ ම යම්තාක් කල් භික්ෂූහු මනාව නියම මග යන්නේ ද, ඒ තාක් කල් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේ ය යනුවෙන් දේශනා කළහ.


බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසූ සුභද්ද වහාම බුදු සමය පිළිගෙන බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද හා උපසම්පදාව අයැද සිටියේ ය. එවිට බුදුරජාණන් වහන්සේ, අන්‍ය තීර්ථකයකු මේ ධර්ම විනයෙහි පැවිද්ද හා උපසම්පදාව අපේක්ෂා කරයි ද ඔහු සාර මාසයක පරිවාස කාලයක් විසිය යුතුව ඇතැයි කීහ. ඒ ඇසූ සුභද්ද, එසේ නම් තමා සාර මසක් නොව, සාර වසක් වුවත් භික්ෂූන් ඇසුරේ වසන්නට කැමති යැයි කීය. එයින් සුභද්දගේ නියම තත් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ, ආනන්ද තෙරුන් අමතා, සුභද්ද පැවිදි කරන්නට යැයි දැන්වූහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ වෙතින් ම උපසම්පදාව ලද සුභද්ද භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ අන්තිම සක්ඛි සාවක (සමීප ඇසුර ළත් ශ‍්‍රාවක) විය.


බුදුරදුන්ගේ මහාකාරුණික අවවාද

අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් ඇමතූ සේක. මහණෙනි, නුඹලා කෙරෙහි අනුකම්පාවෙන් මෙය කියමි. සියලූ සංස්කාරයෝ විනාශ වීම ස්වභාව කොට ඇත්තාහ. එහෙයින් එළැඹ සිටි සිහයෙන් සියල්ල සම්පාදනය කරව්. මේ තථාගතයන් වහන්සේගේ අන්තිම වචනය ද විය.


"ආනන්දය, බුදු සසුනෙහි තමන් තමන්ට එළිය කරගෙන, තමන් තමන්ට පිහිට කරගෙන, අනිකෙකු පිහිට කර නො ගෙන වසන්න. ධර්මය තමන්ට එළිය කරගෙන, ධර්මය පිහිට කරගෙන, අනිකක් පිහිට කර නොගෙන වසන්න."


බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටි අන්තිම අවස්ථාවේ භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා යන සිවු පිරිසට තමන් වහන්සේ කලින් ප‍්‍රකාශ කළ දහම් කරුණු නිතර සිහිපත් කරන්නට අවවාද කළහ. බුදුරජාණන් වහන්සේගේ අන්තිම දේශනාවෙන් අදහස් කළේ සිය අනුගාමිකයන්ගේ සිත් ලෝක ස්වභාවය කෙරෙහි යොමු කැර වීම යි. එසේම අනික් කිසි දෙයක පිහිට නොසොයා ධර්මය පමණක් ම පිහිට කරගත යුතු බව ය. යම් කෙනෙකු බුදුරජාණන් වහන්සේ පිහිට කර ගන්නට උත්සාහවත් වන්නේ නම් එයින් ද අනුගාමිකයනට අපේක්ෂිත ඉලක්කය කරා ගමන් කිරීමට එයත් බාධාවක් විය හැකි ය. අනුගාමිකයනට ස්වතන්ත‍්‍ර නොවන බවත් තමන්ට තමන් මිස, සෙස්සන් පිහිට නොසොයන ලෙසත් අවධාරණය කළහ.


සම්බුද්ධ පරිනිර්වාණය

"භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී කල්හි එහි යම් අවීතරාගී භික්ෂූහු ඇද්ද, ඔවුන්ගෙන් ඇතමෙක් බුදුහු ඉතා ඉක්මනින් පිරිනිවන් පෑහ. සුගතයෝ ඉතා ඉක්මනින් පිරිනිවන් පෑවෝ ය. ලොවෙහි පසැස් ඇත්තෝ ඉතා ඉක්මනින් අතුරුදහන් වූවෝ ය. දෑත් බැඳ ගෙන හඩත් මැදින් කැඩුණ වුන් මෙන් වැටෙත්. පෙරළෙත්. නැවත නැවත පෙරළෙත්. යම් වීතරාගී භික්ෂූහු ඇද්ද ඔවුහු සතිමත් ව අර්ථ අනර්ථ නුවණින් යුතුව සියලූ සංස්කාර අනිත්‍යය. ඒ අනිත්‍ය දේ මෙහි දී කෙසේ ලබමු දැයි සිතමින් ඉවසත්."


බුදුරජාණන් වහන්සේ, ස්කන්ධ පඤ්ඤකය අත්හැරීමට සූදානම්ව ප‍්‍රථමධ්‍යානයට සමවැද පිළිවෙලින් ද්විතීය, තෘතීය, චතුර්ථධ්‍යානයන්ට ද ඉන් අනතුරුව අරූපාවචර ධ්‍යාන සතරට ද සමවත් සමවැද ඉන් නැගී සිට යළි චතුර්ථඨ්‍යානය තෙක් සමාපත්තියට සමවන් සේක. චතුර්ථධ්‍යානයෙන් නැගී සිට අනතුරුව අනුපාදිසේසපරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. ඒ මොහොතෙහි මහත් ලොමුදැහැගන්වන භුමිකම්පාවක් හා බිහිසුණු ගිගුරුම් ද පහළ විය. (මහා භූමිචාලෝ අහෝසි, භිංසනකෝ ලෝමහංසෝ, දේවදුන්දුභියෝ ච එලිංසු)


බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමඟ ම සහම්පති බ‍්‍රහ්මයා විසින් "සබ්බේව නික්ඛිපිස්සන්ති - භූතා ලෝකේ සමුස්සයං" යන අනිත්‍යප‍්‍රතිසංයුක්ත වූ ගාථාවත් ශක‍්‍රදේවේන්ද්‍රයා විසින් "අනිච්චා වත සංඛාරා - උප්පාදවයධම්මිනෝ" යන අනිත්‍යප‍්‍රතිසංයුක්ත වූ ගාථාවත්, ආනන්ද තෙරුන් විසින් "තදාසි යං භිංසනකං - තදාසි ලෝමහංසනං" යන අනිත්‍යප‍්‍රතිසංයුක්ත වූ ගාථාවන් සතරක් ද පැවසූහ.


භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී අවස්ථාවෙහි අවීතරාගී භික්ෂූහු හඬා වැලපීමට පටන් ගත්හ. අනුරුද්ධ තෙරණුවෝ හඬා වැලපෙන භික්ෂූන්ට සංස්කාරයන්ගේ අනිත්‍යතාව ප‍්‍රකාශ කොට, හැඬීමෙන් වැලපීමෙන් හා ශෝක කිරීමෙන් වළකින මෙන් අවවාද කළ සේක. වීතරාගී භික්ෂූහු සසර අනිත්‍යතාව සිහි කරමින් ඉවසූහ. අනතුරුව අනුරුද්ධ තෙරණුවෝ අනඳ තෙරුන් අත භාග්‍යවත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ බව මල්ලරජදරුවනට දන්වා යැවූ සේක.


බුදු සිරුර ආදාහනය කිරීම

"ඉක්බිති කුසිනාරාවේ මල්ල රජදරු අනඳ හිමියන් අමතා, අනඳ හිමියෙනි, අපි තථාගතයන් වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබඳව කෙසේ පිළිපදිමු දැයි ඇසූහ. වාසෙට්ඨයෙනි, යම්සේ සක්විති රජුගේ සිරුර කෙරෙහි පිළිපදිද්ද? තථාගතයන් වහන්සේගේ සිරුර කෙරෙහිත් එසේ පිළිපැදිය යුතු ය. අනඳ හිමියෙනි, සක්විති රජුගේ සිරුර අළුත් වස්ත‍්‍රයෙන් වෙළත්, අළුත් වස්ත‍්‍රයෙන් වෙළා නෙළු කපුපුළුන් වලින් වෙළත්, මේ ක‍්‍රමයෙන් පුළුන් කට්ටල යුග පන්සියයකින් සක්විති රජුගේ සිරුර වෙළා යකඩ රන් දෙකන බහා අනික් යකඩ දෙණකින් වසා සියලූ සුවඳ දරින් සෑයක් කොට සක්විති රජුගේ සිරුර දවත්. සතර මං සන්ධියක සක්විති රජුගේ ථූපය කරවත්. වාසෙට්ඨයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි පිළිපදින්නේ මෙසේ ය. වාසෙට්ඨයෙනි, යම්සේ සක්විති රජුගේ සිරුර කෙරෙහි පිළිපදිද්ද? එසේම තථාගතයන්ගේ සිරුර කෙරෙහිත් පිළිපැද්ද යුතු ය."


අනඳ තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු තථාගත ශ‍්‍රී දේහය පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය පිළිබඳ විමසා සිටියහ. බුදුරදුන්ගේ අවවාදය වූයේ තථාගත ශ‍්‍රාවකයන් ඒ සඳහා කාලය නොයොදා කෙලෙස් තවන වීර්යයෙන්, නිවන් පිණිස යොමු කළ සිත් ඇතිව වාසය කළ යුතු බව යි. තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුණු නුවණැති ක්ෂත‍්‍රිය, බ‍්‍රාහ්මණ, ගෘහපතියෝ සිටිති. සක්විති රජෙකුගේ දේහයට අවසන් ගෞරව දක්වන ආකාරයෙන් ඔවුහු තථාගත ශ‍්‍රී දේහයට පූජා පවත්වන්නා හ.


ඉක්බිති මල්ලරජදරුවෝ තථාගත ශ‍්‍රී දේහය කසී සඵවෙන් වෙළා මනාව නෙළු කපුපුළුනින් වෙලූහ. මේ ආකාරයෙන් පන්සිය වරක් නෙළු කපුපුළුනින් හා කසී සළුවෙන් බුදු සිරුර වෙළා සුවඳ තෙල් පිරුණු දෙණක බහා තබා, එබඳුම රන් දෙණකින් වසා සියලූ වර්ගයේ සුවඳ දරින් එක්විසි රියන් උසැති කොට කරවන ලද චිතකයෙහි රන් දෙණ තැන්පත් කළහ. අනතුරුව, තරුණ, මධ්‍යම වයස් ඇති මල්ලදජවරු සිවුදෙනෙක් සුවඳ දියෙන් හිස් සෝදා අළුත් වසුත‍්‍රයෙන් සැරසී චිතකයට ගිනි දැල්වීමට උත්සාහ කළත් එසේ කිරීමට අපොහොසත් වූහ.


පන්සියයක් පමණ භික්ෂුන් පිරිවරා පාවා නුවර සිට කුසිනාරාව බලා වැඩම කරන මහාකාශ්‍යප මහරහතන් වහන්සේ, බුදු සිරුරට අවසන් ගෞරව දක්වන තෙක් විතකයට ගිනි දැල්වීමට නොහැකි වූයේ, චිතකයට ගිනි නොදැල්වේවා යන දෙවියන්ගේ අභිප‍්‍රාය වූ බැවිනි.


මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සහ සුභද්‍රගේ අභද්‍ර වචනය

"ඒ අවස්ථාවේ සුභද්ද නම් වූ මහලූ පැවිද්දෙක් ඒ පිරිසේ සිටී. ඉක්බිති ඒ සුභද්ද නම් මහලූ පැවිද්දා ඒ භික්ෂූන්ට මෙසේ කී ය. ඇවැත්නී, කම් නැත. ශෝක නොකරන්න. නො වැළපෙන්න. ඒම හා ශ‍්‍රමණයාගෙන් අපි මනාව මිදුණෙමු. මෙය ඔබට කැප ය. මෙය ඔබට නොකැප ය. යන කතා නිසා අපි ඔහුගෙන් මෙතෙක් උපද්‍රවයට පැමිණියෙමු. දැන් අපි යමක් කැමැත්තෙමු ද, එය කරන්නෙමු. යමක් නො කැමැත්තෙමු ද එය නො කරන්නෙමු."


මල්ල රජදරුවෝ බුදුරදුන්ගේ ශ‍්‍රී දේශය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු සියලූ වතාවත් සම්පුර්ණ කොට චිතකයට ගිනි දැල්වීමට උත්සාහවත් වූයේ නමුත් එය අසාර්ථක වූහ. මල්ල රජදරුවෝ අනුරුද්ධ තෙරුන්ගෙන් තොරතුරු විමසා එසේ වීමට හේතු දැන ගත්හ. එනම් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කොට බුදුරදුන්ගේ සිරි පා නමදින තුරු චිතකට නො දැල්වේවා යන දෙවියන්ගේ අදිටන වූ බැවිනි.


මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පන්සියයක් පමණ භික්ෂුන් වහන්සේ සමග බුදුරදුන් බැහැ දැකීමට පාවා නුවරින් කුසිනාරාව බලා වැඩම කළහ. විශාල මදාරා මලක් අතින් ඔසවාගෙන මාර්ගයේ ගමන් ගන්නා එක් ආජීවකයකු දැක, තොරතුරු විමසූ අවස්ථාවේ දැන ගන්නට ලැබුණේ බුදුරදුන් සත් දිනකට පෙර පිරිනිවන් පා වදාළ බව ය. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සමඟ වැඩම කරමින් සිටි භික්ෂුන් වහන්සේ අතර සිටි පුහුදුන් භික්ෂූන් වහන්සේ, මේ පුවත ඇසීමෙන් බලවත් කම්පනයට පැමිණ මෙසේ ප‍්‍රකාශ කරමින් (අතිඛිප්පං භගවා පරිනිබ්බුතෝ) (අතිඛිප්පං සුගතෝ පරිනිබ්බුතෝ) (අතිඛිප්පං චක්ඛුමා ලෝකේ අන්තරභිතෝති) හඬා වැළපෙන්නට වූහ. පිරිස අතරේ සිටි රහත් භික්ෂුන් වහන්සේ, සියලූ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාවය සිහි කරමින් (තේ සතා සම්පජානා අධිවාසෙන්නී, අනිච්චා සංඛාරා) ඉවසා වදාළහ.
බුදුරදුන් පිරිනිවීම නිසාත්, සුභද්‍ර නම් මහඵ පැවිද්දාගේ ප‍්‍රකාශනය නිසාත්, සසල වූ පුහුදුන් භික්ෂුන් වහන්සේ, මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ අවවාද - අනුශාසනා ලැබ සංවේගය උපදවා ගත්හ. මකුටබන්ධන චෛත්‍යස්ථානයෙහි චිතකය වෙත වැඩම කළ, මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කොට ඇඳිලි බැඳ වැඳ, තෙවරක් පැදකුණු කොට රන් දෙණ විවර කොට සිරි පා නමස්කාර කළහ. වැඩම කළ සෙසු භික්ෂුන් වහන්සේ ද එසේ කළහ. අනතුරුව දේවතානුභාවයෙන් එක්වරම චිතකයට ගිනි ඇවිල ගියේ ය.


මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සහ සුභද්‍රගේ අභද්‍ර වචනය

"භාග්‍යවතුන්ගේ සිරුර ද දැවුණු කල අහසින් දිය දහරක් අවුත් බුදුරදුන්ගේ චිතකය නිවා ලී ය. සල් ගසින් ද ජලය අවුත් බුදුන්ගේ චිතකය නිවා ලී ය. කුසිනාරාවේ මල්ල රජවරු ද සියලූ සුවඳ ජලයෙන් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නිවා දැමූහ. ඉක්බිති කුසිනාරාවේ මල්ල රජවරු භාග්‍යවතුන්ගේ ශාරීරික ධාතු සතියක් යන තුරු සන්ථාගාරයෙහි තබා කඩුගත්තවුන් ලවා වට කොට දුනු පවුරකින් වට කරවා නැටුම්වලින්, ගීතවලින්, වාදනවලින්, මල්වලින්, සුවඳවලින් සත්කාර කළාහු ය. ගරුකාර කළාහු ය. බුහුමන් කළාහු ය. පිදුවාහු ය."


භාග්‍යවතුන් වහන්සේගේ දැවෙන්නා වූ ශ‍්‍රී දේහයේ සම් මස් නහර ඇටමිදුලූ සහ කිසිවක අඵ හෝ දැලි දක්නට නොවීය. යම්සේ දැවෙන්නා වූ ගිතෙල්වල හෝ තෙල්වල අඵ දැලි දක්නට නොවේ ද, ඒ ආකාරයෙනි, ශ‍්‍රී දේහය පන්සියයක් සඵ යුගලයන් අතුරෙන් සඵ දෙකක් පමණක් නොදැවී ඉතිරි විය. ඒ වනාහි සියල්ලට ම යටින් වූ සඵව හා සෙසු සියල්ලනට ම පිටින් වු සඵව යන දෙක ය.


තථාගත ශ‍්‍රී දේහය දැවුණු පසු භාග්‍යවතුන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි සතර දළදා, අකු ධාතූන් දෙනම සහ ලලාට ධාතු යන ධාතූන් සත්නම (අසම්භින්න) නො විසිර ගියහ. ඉතිරි ධාතූහු අබ, කඩ සහල්, මුං පියළි පමණට (සම්භින්න) විසිර ගියහ. එසේ විසිර ගිය සියලූ ධාතූහු මුං පියළි පමණ මහත් වූ නැලි පසක් ද, කඩ සහල් පමණ වූ මධ්‍යම ප‍්‍රමාණයේ නැලි පසක් ද, අබ ඇට පමණ වූ කුඩා ප‍්‍රමාණයේ නැලි සයක් ද වශයෙන් ගත් කල සියල්ල නැලි සොළසෙකි.


අසම්භින්න සතර දළදා:
එක් දළදාවක් දෙව් ලොව ද(ඒකා දාඨා තිදසපුරේ) එක් දළදාවක් නාග ලෝකයෙහි ද (ඒකා නාගපුරේ අහූ) එක් දළදාවක් ගන්ධාර දේශයේ ද (ඒකා ගන්ධාර විසයේ) එක් දළදාවක් කාලිංග දේශයේ ද (ඒකා කාලිංග රාජිනෝ) වේ. දැනට මහනුවර දළදා මාලිගයේ වැඩ සිටින්නේ කාලිංග දේශයේ වැඩ සිටි වාම දළදා වහන්සේ ය. පොලොන්නරුවේ සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ ය.


සදහම් සයුරෙන් අමා දිය බිඳක්

"මා විසින් තැබූ මේ කලණ වැඩ පවත්වවු. තෙපි නහමක් මාගේ අන්තිම පුරුෂයෝ වවු."


බුදුරජාණන් වහන්සේ මිථිලා නුවර මඛාදේව නම් අඹ වනයෙහි වැඩ වසන සේක. බුදුවරු අහේතුකව සිනා පහළ නොකරති. මිථිලා නුවර අඹ වනයෙහි වැඩ සිටි අවස්ථාවේ සිනා පහළ කළ විට එකත්පස් ව සිටි අනඳ හිමියන් එයට හේතු විමසා සිටියේ ය. අතීතයෙහි මිථිලා නුවර මඛාදේව නම් දැහැමි රජෙක් විය. දිනක් ඔහු තම හිසෙහි පැසුණු කෙස් ගසක් දැක, මරණයේ ලකුණු පහළ වී ඇතැයි බියපත් ව, තම රාජ්‍යය පුතුට පවරා තවුස් දම් රැකීමට වනගත විය. සිවුබඹ විහරණ වැඩූ ඔහු මරණින් මතු බඹලොව උපන්නේ ය. මඛාදේව පරපුරෙහි පෙර විසූ රජවරු ද එසේ කොට මරණින් මතු බඹලොව උපන්හ.


එසේ වුවත් මඛාදේව රජ පරපුරේ අන්තිමයා වූ නිමි රජුගේ පුත‍්‍රයා වූ කලාරජනක තවුස් දම් නොරැකීම නිසා මඛාදේව රජ පරපුර රැකගෙන ආ සත් සිරිත එතෙකින් අවසන් විය. මඛාදේව රජ පරපුර රැකගෙන ආ ඒ කලණ වැට සිඳ බිඳ දැමීම නිසාවෙන් ඔහු ඒ පරපුරෙහි අන්තිම පුරුෂයා ද විය.


බුදුරජාණන් වහන්සේ අනඳ හිමියන් අමතා මෙ කල මා විසින් තබන ලද මේ කලණ වැට ඒකාන්තයෙන් ම විරාගය, නිරෝධය, උපසමය, අභිඤ්ඤාව, සම්බෝධිය සහ නිර්වාණය පිණිස පවතින බවත් යම් පුද්ගලයෙක් එය සිඳ බිඳ දමන්නේ නම් ඔහු අන්තිම පුරුෂයා වෙයි.


සදහම් සයුරෙන් අමා දිය බිඳක්

"වර්ණයෙන් හෝ රූපයෙන් මිනිසා හඳුනාගත නොහැකිය. දැකීම් පමණකින් විශ්වාස නොකළ හැකිය. සංයම වූ අයගේ තවුස් පිරිකරවලින් සංයම නොවූ අය මෙලොව හැසිරෙති, යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක."


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයෙහි වැඩ සිටි සමයේ දිනක් කොසොල් මහරජතුමා එහි පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙකින් හිඳ ගත්තේ ය. ඒ අවස්ථාවේ ජටිලයෝ හත් දෙනෙක් ද අවේලකයෝ හත් දෙනෙක් ද නිගණ්ඨයෝ හත් දෙනෙක් ද ඒක සාටකයෝ හත් දෙනෙක් ද බුදුරදුන් වැඩ සිටි ස්ථානයෙන් ම ගමන් කළහ. එවිට කොසොල් රජතුමා නැගිට ඔවුන් වැඳ මම කොසොල් රට වෙමියි තෙවරක් කීවේය. රජතුමා ඔවුන් ගිය පසු ඔවුහු රහත් වෙතියි බුදුරදුන්ට සැළ කළේය. එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ මිනිසා හඳුනා ගන්නා ආකාරය රජුට පැහැදිලි කළ සේක.මේ ලෝකයේ ජීවත්වන මිනිස්සු විවිධ ය. භින්නරුචිකයෝ ය. එබැවින් එසේ වු අයගෙන් සුචරිතවත් පුද්ගලයකු හඳුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. අපගේ ලෞකික මෙන්ම ලෝකෝත්තර ජීවිතය යහමඟට ගැනීම සත්පුරුෂ පුද්ගල ආශ‍්‍රය අතිශයින් ම වැදගත් ය.


මෙබඳු විවිධත්වයෙන් යුතු මිනිස් වර්ගයා සිටින බැවින් බාහිර පෙනුමෙන් හා දැකීම් මාත‍්‍රයෙන් පමණක් කෙනෙකු හඳුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එබැවින් බුදුරජාණන් වහන්සේ පුද්ගලයකු හඳුනා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණු හතරක් දේශනා කළහ. එනම් ශීලය හෙවත් හැදියාව, පිරිසිදු බව, ඥාන ශක්තිය හා ප‍්‍රඥාව යි. මිනිසා තුළ ඇති මෙම ගති පැවතුම් දැක හඳුනා ගත හැක්කේ සියුම් පරීක්ෂාවක යෙදීමෙනි. එනම් ඇසුරු කිරීමෙනි. ඇසුරු කිරීම ද දවසක් දෙකක් නොවේ. එය ටික කාලයක් දිගට ම කළ යුත්තකි. එසේ කළත් මනා සිහි ඇති නුවණැත්තන්ට පමණක් ම දැන ගත හැකි වන්නේ ය. එහෙයින් කෙනෙකුගේ රූපයට හා වර්ණයට පමණක් වහල් නොවී බාහිර කරුණු පමණක් පාදක කර නොගෙන, උක්ත කාරණාවන්ගෙන් යුක්තව විමසා බලා සත්පුරුෂයන් හඳුනා ගැනීමට උත්සාහවත් වීම බුද්ධිගෝචර වේ.