සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ව්‍යාපෘතිය ….

posted in: Projects | 0

සියදිවි නසා ගැනීම් ගැන ඔබේ අවදානය යොමුවීම ප්‍රමාණවත්ද?

dharmavijaya-foundationසෑම තත්පර භාගයකට එක් පුද්ගලයෙක් ලොව කොතැනක හෝ සිය ජීවිතය කෙළවර කර ගැනීමෙන් වර්ෂයකට ලක්ෂ අටක් පමණ ලොවට අහිමිවන බවත් රටවල් 172 අතරින් ශ්‍රී ලංකාව සියදිවි නසා ගැනීමේ 4 වන ස්ථානයට පත්ව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කළ වාර්තාවල සදහන් වේ.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සාමාන්‍යයෙන් ලක්ෂයකට 28.8 ක් තම ජීවිත තමා විසින්ම අවසන් කර ගන්නා බවට කරුණු හෙළි වී ඇත.

තම ජීවිතය ස්වේච්ඡාවෙන් හානි කර ගැනීමට උත්සාහ දරන ප්‍රමාණය මෙයටත් වඩා වැඩිය. රෝහල් ගත කරන බොහෝ දෙනා ජීවත්වීමේ වාසනාව නැවත ලබා රෝහල්වලින් පිට වන්නේ තාවකාලික හෝ සදාකාලික ආබාධිත තත්ත්වයෙනි. ජීවත්වුවත් තමා සියදිවි නසා ගැනීමට ගත් වැරදි තීරණය පිළිබදව පසුව කම්පාවෙමින් අනන්ත දුකට පත්වී වේදනා විදිමින් සිටින පුද්ගලයින් සමාජයේ දී අපට හමු වී ඇත.

කෙනෙක් සියදිවි නසා ගත් විට පවුලේ ඉතිරිවන සියලු දෙනා මානසික කම්පනයට පත්වේ. මානසික, ආර්ථික හා සමාජීය වශයෙන් ඉතා වැදගත් ඵලදායි වයස් කාණ්ඩයක් වන අවුරුදු 15-23 අතර තරුණ කොටස වැඩි වශයෙන් සියදිවි නසා ගැනීමට හෝ ඊට උත්සාහ කිරීමට පෙළඹෙන බව First glibal report on suicide නමැති වාර්තාවේ දැක්වේ.

සියදිවි නසා ගන්නේ ඇයි?

දිනපතා ප්‍රවෘත්ති හා විද්‍යුත් මාධ්‍ය මගින් පල කරන වාර්තා මාස තුනක් තුළ විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන කරුණු වන්නේ;
සියදිවි නසා ගැනීම වැඩි වශයෙන් සිදුවන්නේ නාගරික ප්‍රදේශවලට වඩා ග්‍රාමීය ප්‍රදේශවල බව,
ඊට සමීප හේතුවන්නේ අන්තර් පුද්ගල සම්බන්ධතා බිදවැටීම, දැඩි ආර්ථික අපහසුතා දරාගත නොහැකිවීම, දෛනික ගැටලු මත ඇතිවන ආතතිය, මානසික ව්‍යාකූලත්වය, පවුල් ආරවුල් මුල්කර ගත් පවුලේ ප්‍රශ්න ආදිය යි.

තම ගැටලු තව කෙනෙකු සමග කතා කර මානසික ආතතිය අඩුකර ගැනීමට අවස්ථාවක් නොලැබූ විට හා තම ප්‍රශ්නවලට විසදුම් තමා විසින්ම සෙවීමට උත්සාහ දරා ඉන් අසමත් වූ විට සියදිවි නසා ගැනීමට තීරණය කිරීම මෙවැනි ඛේදවාචක ඇතිවීමට හේතුවයි.

ප්‍රශ්න දෙස වෙනත් ඇසකින් බැලීමට හා විසදුම් සෙවීමට උත්සාහයක් දරණ පවුල් පරිසරයක් තවමත් අප සමාජය තුළ ප්‍රමාණවත් පරිදි ගොඩනැගී ඇත.

තමාගේ ජීවත්වීමත් මරණයත් අතර දෝලනය වන ගැටලුවක් තමාට විශ්වාසවන්ත හා තමාගේ පෞද්ගලිකත්වය ද රැකෙන පරිදි තව කෙනෙකු සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීම අප සමා‍ජයේ සියලු දෙනාගේම වගකීමකි.

මෙහි අවශ්‍යතාව නගර, ග්‍රාම, ස්ත්‍රී පුරුෂ තරුණ මහලු, ජාති ආගම් වශයෙන් වෙනස් නොවන අතර මුඵ මානව වර්ගයාම ප්‍රමුඛතාවය දී ප්‍රතික්‍රියා කළ යුතු කාලය පැමිණ ඇත.

සියදිවි නසා ගැනීම වළක්වා ගමු ?

සියදිවි නසා ගැනීම් වළක්වා ගැනීමේ ප්‍රථම පියවර ලෙස අප අප ගැනම නොව අප අවට සිටින පුද්ගලයාගේ ජීවිතයේ වටිනාකම අව‍බෝධ කර ගෙන ඔහු හෝ ඇය ගැනද අවධානයෙන් සිටිය යුතුය.

අන් අයගේ පෞරුෂත්වයට හානි නොවන පරිදි ඔවුන්ගේ මානසික හැසිරීම් රටාව හා පුද්ගල චර්යාව අධීක්ෂණය කරන්න. එහි අස්වාභාවිකත්වයක් ව්‍යාකූලත්වයක් තිබේ නම් එය හදුනා ගැනීමට ඔබ සමත්වන්න. එය ඔබට පැවරුනු පැහැර හැරිය නොහැකි වගකීමක් බව සිතන්න.

ඔබ ළග සිටින තැනැත්තා පපුව රිදෙනවා යැයි පැවසූ විට ඔහු ඇය වෛද්‍යවරයකු වෙත ගෙනයෑමට ඔබ යුහුසුඵ වේ. එහෙත් කෙනෙකු “‍මට ජීවිතය එපා වෙලා. මට හරියට ප්‍රශ්න” යයි කී විට එය සාමාන්‍ය දෙයක් ලෙස සලකා එය අපේ සිතින් බැහැර කිරීමට අප පුරුදුව සිටී.

නමුත් එය තව ජීවිතයක අවසානය පිළිබදව පළමු කෙදිරිය විය හැකි ය. එම පළමු කෙදිරිය ගැන සැලකිලිමත් වූවානම් ඔබට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබුණි. ඔහු සියදිවි නසාගත් පසු ඒ පිළිබද පසුතැවිලිවීමෙන් ඔබට ද මිය ගිය පුද්ගලයාට ද සමාජයට ද සිදුවන යහපතක් නැත. ඒ වනවිට ඔබ ප්‍රමාද වී වැඩිය.

“සැනසිලිසුවය” වැඩ සටහන ?

ධර්මවිජය පදනම විසින් සියදිවි හානිකර ගැනීම වැළැක්වීම සදහා “සැනසිලිසුවය” නමින් වැඩ සටහනක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරයි.

මේ වනවිට ධර්මවිජය පදනමේ සැනසිලිසුවය උපදේශන වැඩසටහන යටතේ විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ ජීවත්වීමේ වාසනාව උදාකර දී ඇත. (ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අනාවරණය කළ නොහැකිය.) දිවි නසා ගැනීමෙන් වළක්වා, ඊට හේතු වූ කරුණු වලට පිළිතුරු සපයමින්, දීර්ඝ කාලයක් ඔවුන්ව අධීක්ෂණය කිරීම අප පදනමේ විශේෂ කාර්යයකි.

ඔබට ද මෙම වැඩසටහනට සම්බන්ධවීමට හැකිය.

කිසියම් කෙනෙකු මානසික අසහනයෙන් සිටින බව ඔබට දැනුනොත් ධර්මවිජය පදනමේ වැඩ සටහනට වහාම යොමු කරන්න. කෙනෙකුගේ ජීවිතය ගැලවීමේ පුණ්‍ය කාර්යයට එයින්ම ඔබ සහභාගි වූවා වේ. සසර වසන තුරු ඒ කුසලය ඔබ පසුපස සැරිසරයි.

ධර්මවිජය පදනමේ සැනසිලිසුවය වැඩ සටහන හා සම්බන්ධවීමට පහත ලිපිනයට ලියා හෝ දුරකථන අංකවලට අමතන්න.

වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය
ධර්මවිජය පදනම – සැනසිලිසුවය
380/7, සරණ පාර
බෞද්ධාලෝක මාවත
කොළඹ 07
දුර. 0112698870/0716355493