ධර්මවිජය පදනමේ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ….

posted in: Projects | 0

dharmavijaya-foundationමිනිහා නො හදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩි‍හේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උදාර සංකල්පය මුල් කරගෙන ධර්මවිජය පදනම අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය හා සදාචාර යන අංශ 4 ක් යටතේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. අධ්‍යාපන වැඩ සටහන යටතේ අධ්‍යාපනයට දක්ෂතා දක්වන, මුල්‍යාධාර අවශ්‍ය දූ දරුවන්ට සහන සැලසීම සදහා ශිෂ්‍යත්ව ප්‍රදාන ව්‍යාපෘතිය දියත් කර ඇත. දැනුම ලබා ගැනීමට උදව් දීම දෙලොව යහපතට පිහිටවන මහා පුණ්‍යකර්මයකි.

මිනිසා හැදීමේ මූලික කර්තව්‍ය ද මනස වර්ධනය කිරීම යි. පූර්ණ මිනිසෙකු තැනීමට නම්, ඥාන වර්ධනයේ යෙදී සිටින අපේ දූ දරුවන්ට හැකි සෑම අවස්ථාවකම නන් අයුරින් අතහිත දිය හැකි ය. ඒ මහගු චේතනාවෙන් ධර්මවිජය පදනම පුරා තිස් වසරක් අගහිගතාවයෙන් පෙළෙන, ආධාර උපකාර ඉල්ලා සිටින, උසස් අධ්‍යාපනයේ නියැලී දූ දරුවන්ට ශිෂ්‍යත්ව (මූල්‍ය ආධාර, පොත්පත් හා වෙනත් ආධාර) ලබාදීමට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරයි.

සුදුස්සෝ කවරහුද?

තරග විභාග උසස් මට්ටමින් ජයගෙන විශ්ව විද්‍යාලයට පිවසෙන බොහෝ ගම්බද සිසු සිසුවියන්ට ආර්ථික අගහිගතාවය නිසා තම උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යෑම ජීවත්වීම තරම්ම වූ සටහක් වී ඇත. එම අභියෝගයට සාර්ථකව මුහුණදීමට අපහසු අවස්ථා අපමණය. මෑතදී ද එවැනි සිද්ධි වාර්තා විය. එවැනි සිද්ධියක් කණවැකුණු වහාම කම්පාවට පත් වී නිහඩ වනවා මිස ඊට සුඵ වශයෙන් හෝ පිළියම් යෙදීමට ඉදිරිපත් නොවීම ඊටත් වඩා ඛේදජනක ය.
ධර්මවිජය පදනම පසුගිය 40 වසර පුරා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පිවිසුන, විශේෂයෙන් වෛද්‍ය, ඉංජි‍නේරු, නීති, කලා, වාණිජ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ට අයත් සිසු සිසුවියන් 800 කට අධික ප්‍රමාණයකට මාසිකව මුදල් ආධාර සපයමින්, ඔවුන්ගේ දෙනෙත් ආලෝකමත් කර ගැනීමට උර දී ඇත. එයිනුත් වැඩි ප්‍රමාණයක් වෛද්‍ය සිසුන්ය. එවැනි ශක්තියක් අපට ලැ‍බුණේ විශේෂයෙන් දේශීය හා විදේශීයව සිටින හද උණුවෙන දානපතියන්ගේ නොමසුරු ධන පරිත්‍යාග හේතුවෙනි.

ප්‍රගති සමාලෝචනය

සිසුන් ආධාර ලබන කාලය තුළ ඔවුන්ගේ විභාග කුසලතා තොරතුරු ධර්මවිජය පදනම විසින් අධීක්ෂණය කෙරේ. ශිෂ්‍යත්ව ආධාර ගෙවන්නේ අධ්‍යාපන ප්‍රගතිය අධීක්ෂණය කරමින් ය.

තෝරා ගන්නේ කෙසේද?

රජය අනුමත පුණ්‍ය ආයතනයක් වන ධර්මවිජය පදනම, දුක හදුනන ඇති හැකි පුණ්‍යවන්තයන්ට, නැති බැරි අගහිගතාවයෙන් පෙළෙන දක්ෂ සිසුන්ට පිහිටවීම සදහා පාලම සකස් කර ඇත.

අප ශිෂ්‍යත්වලාභීන් තෝරා ගන්නේ, විශ්ව විද්‍යාලයෙන් හා ගමේ පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ නිර්දේශය සහිතව ඉදිරිපත් වන අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට භාජන කිරීමෙන් පසුව ය. එහිදී සිසුවාගේ පවුලේ ආදායම් තත්ත්වය, යැපෙන්නන් ප්‍රමාණය, දහම් පාසල් අධ්‍යාපනය, බාහිර දක්ෂතා වැනි කරුණු විශේෂ අවදානයකට ලක් කෙරේ. ඒ අය අතුරෙන් වඩාත්ම සුදුසු සිසුන් තෝරා ගනු ලැබේ. ඊට අමතරව ශිෂ්‍යත්වලාභීන් අධ්‍යාපනය ලබන සම්පුර්ණ කාලය තුළ දී ඔහු/ඇය දක්වන කුසලතාවන් පිළිබද වාර්තා අඛණ්ඩව අධීක්ෂණය කෙරේ.

ඔබට ද දායක විය හැකිය.

විශ්ව විද්‍යාල සිසුවකුට ඔහුගේ ආර්ථික පසුබිම හා ශිෂ්‍යත්ව අනුග්‍රාහකයන්ගේද අභිමතය පරිදි මාසිකව රු.1500 සිට 3000 දක්වා වූ ආධාර මුදලක් පාඨමාලාවක් අවසන් කරන තෙක් ලබාදෙනු ලැබේ. විශ්ව විද්‍යාල සිසුවකුට ලැබෙන එවැනි ශිෂ්‍යත්වයක වටිනාකම විදේශගත නම් කෙනෙකු එක් කෑම වේලකට වියදම් කරන මුදලටත් අඩු ය.

එසේම යමෙකු මද්‍යසාර, සිගරට් වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය සදහා කොපමණ මුදලක් වියදම් කෙරේදැයි කල්පනා කර බලන්න. කෙනෙකු මෙවැනි අත්‍යවශ්‍ය නොවන දෙයට වියදම් කරන මුදල් වියදම වැඩදායි කටයුත්තකට යෙදුවොත් අපේ දරු දැරියන් කී දෙනෙකුගේ සංවේදී ආයාචනයන්ට පිහිට විය හැකිද?

ආධාර කළ හැක්කේ කෙසේද?

ඔබත් දෙලොවදී ම මහත් ආනිසංස ලබන මෙම පුණ්‍යකර්මයට දායක වීමට කැමති නම්, ඒ සම්බන්ධයෙන් පහත සදහන් පරිදි කටයුතු කළ හැකි ය.
ඔබේ නමින් හෝ ඔබේ හිතෛෂීයෙකුගේ නමින් භාරකාර අරමුදල් (Trust Fund) පවත්වාගෙන යමින් වාර්ෂිකව ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩ සටහනට නිරතුරුව දායකත්වය ලබාදීමෙන් හෝ
එක් ශිෂ්‍යත්වයක් සදහා දායකත්වය ලබා දී එම ශිෂ්‍යත්වය අවසන් වනතුරු වාර්ෂිකව මුදල් ධර්මවිජය ගිණුමට බාර කිරීම මගින් හෝ
ශිෂ්‍යත්ව ප්‍රදාන අරමුදලට ආධාර මුදලක් ලබාදීම මගින් ඔබට ද දායක විය හැකි ය.

දෑස පියාගන්නා
යම් දිනක
තවත් අයෙකුගේ
දෑස් ආලෝකමත් කළ බව
අප සිතට නැගේ නම්,
එම කුසලයෙන් ම
මතු
උපදින ආත්මභාවයක දී
අප ජීවිතය ද
ආලෝකමත් වේ.