කරණීයමෙත්ත සූත්‍රය ඇසුරෙන්

බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ දී කුසලතා පූර්ණ පුද්ගලයකු හෙවත් දියුණු වන තැනැත්තෙකු තුළ තිබිය යුතු ලක්ෂණ 15 ක් දේශනා කළහ. සූත්‍රය ආරම්භ වන්නේ නිවනට පැමිණ වාසය කිරීමට කැමති, එසේ ම තමාට හිත පිණිස කටයුතු කිරීමෙහි දක්ෂ තැනැත්තා මෙම ගුණධර්මවලින් යුක්ත විය යුතු ය. භික්ෂූන් වහන්සේලා පිරිසකට මෙම සූත්‍රය දේශනා කළේ අමනුෂ්‍ය උපද්‍රව දුරුකර ගැනීමට මෙත් වැඩීමට මෙන් ම විදසුන් වඩා මාර්ග ඵල නිවන් අවබෝධ කර ගැනීමටත් ය. එසේ ම ඉතා සියුම්ව විමසා බලන විට පැහැදිලි වන්නේ මෙම සූත්‍රය දේශනා කිරීමෙන් අපේක්ෂා කළේ (යෝගාවචරයාට) මෙත් සිත පැතිරවීම, තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සහ විපස්සනාපාදක ධ්‍යාන ලබා ගැනීමත් ය.

ලෝකයේ කරණීය ධර්ම හා අකරණීය ධර්ම යනුවෙන් දෙ අංශයක් තිබේ. අකරණීය ධර්ම යන්නෙන් අදහස් කරන්නේ නොකළ යුතු, නොපිළිපැදිය යුතු, නොහැසිරිය යුතු කරුණු වේ. අධම්මචරියා, විෂමචරියා, පස්පව්, දස අකුසල් යනාදියත් පුද්ගලයකුගේ දියුණුවට බාධා කරන දෙයෙහි නිරතවීමත් යනාදී කරුණු වේ. කරණීය ධර්ම යනුවෙන් අදහස් කරන්නේ කළයුතු, පිළිපැදිය යුතු, හැසිරිය යුතු කරුණු වේ. සමචරියා, ධම්මචරියා වැඩිදියුණු කිරීමත් දස කුසල් දස පුණ්‍යක්‍රියා ඉටු කිරීම් ආදිය කරණීය ධර්ම වේ.

මෛත්‍රිය වඩන්නෙකු විසින් මුලින් ම පුරුදු පුහුණු කළයුතු මූලික ගුණාංගය වශයෙන් දැක්වෙන්නේ සක්කෝ ගුණය යි. එනම්, දුක්ඛාදි ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට සුදුසු පරිදි පිළිවෙත් පිරීමෙහි දක්ෂයකු වීමයි. එහි තේරුම ‘පිළිවනි, ඇයි බැරි, නොහැකි දෙයක් නෑ යන්න යි. දුර්වල පුද්ගලයෝ හැම අවස්ථාවක ම කල්පනා කරන්නේ ‘මට බෑ, අමාරුයි, නොකට හැකි දෙයකැයි පවසා පසුබාති. එම අදහස අලස, කුසීත, නීච පුද්ගලයන්ගේ ස්වභාවය යි. එම අදහස පරිහානීය ලක්ෂණයකි. සියලු සම්බාධක පසෙක දමා එළඹෙන ඕනෑම අභියෝගයක් හමුවේ වුව ද පෙරමුණට ම ගමන් කිරීම එම පුද්ගලයන්ගේ උදාර ගුණාංගයකි. එසේ ම ගුණ නුවණින් යුක්ත වීම යි.

“ලොකේ උත්සාහවන්තානං ජනානං කිම සාධියං” ලෝකයෙහි උත්සාහවත් පුද්ගලයාට නොකට හැකි දෑ කුමක් දැයි ප්‍රකාශ කළේ වීර සිංහල ජන නායකයකු වූ මහා පරාක්‍රමබාහු රජතුමා ය.

තමාගේ නැති ගුණ නොදැක්වීම, කයින් වචනයෙන් අවංකවීම, එසේම සෘජු, ඇද නැති කෙනෙ‍කු වීම උජු ගුණය යි.

යථාවාදී තථාකාරී-යථාකාරී තථාවාදී යනු කියන දේ කරන, කරන දේ කියන උතුම් බුදු ගුණයකි. අවංක පුද්ගලයාගේ ස්වභාවය නම් සිතින් යමක් සිතුවොත් කරන්නේත් ඒ දෙයම යි. වංක පුද්ගලයාගේ ස්වභාවය නම් සිතින් සිතන්නේ එකක්, එසේ වුවත් කරන්නෙ ඊට හාත්පසින් ම වෙනස් දෙයක්. එබදු වංක ගති මා කිසිවිටකත් ඇතිකර ගන්නේ නැහැ. එසේ ම අනුන් රැවටීම නම් වූ දුර්ගුණයෙන් ද වැළකීම උජු ගුණය යි.

තමා තමන්ට ම අවංක වීම හෙවත් වඩාත් අවංක වීම, තමා තුළ ඇති දොස් නොවැසීම, මනසින් අවංක වීම ආදී වඩාත් සෘජු, ඇද නැති කෙනෙකු වීම යනු සූජූ ගුණය යි. සෘජු ගුණය දසරාජ ධර්ම අතර ද ඇතුළත් එක් ගුණයකි. එහිදී අදහස් කළේ රාජ්‍ය පාලකයා රටේ ජනතාව රැවටීමකින් තොරව අවංකව, පක්ෂග්‍රාහී නොවී සියලු රටවැසියාගේ ම යහපත උදෙසා ප්‍රතිපත්ති ගරුකව ක්‍රියා කිරීම යි.

ඡන්දා, දෝසා, භයා, මෝහා යන සතර අගතියෙන් නොමගට නොයෑම යි. යුක්තිය ම ශක්තිය සේ සලකා දිවි යතත් අයුක්තියට හා අසාධාරණයට හිස නොනමන්නේ ය. ශක්තිය හා බලය තුබුණත් වැරදි දෙයට, අයුක්තියට උල්පන්දම් නොදෙන්නේ ය.

සෘජු ගුණ ඇත්තෝ සැමදා සැම තන්හි ගරු බුහුමන් ලබති. නොමද වර්ණනාවට පාත්‍ර වෙති. උතුමන්ගේ ආශ්‍රයත් ප්‍රසාදයත් ගෞරවයත් විශ්වාසයත් දිනා ගන්නේ සෘජු ගුණ ඇත්තන්ම ය. යුක්තිය හා සාධාරණත්වය හමුවේ මලකටත් වඩා මෘදු මොළොක් වීමත්, අයුක්තිය, අසාධාරණය ඉදිරියේ ගලකටත් වඩා දැඩි වීම සෘජු ගුණ ඇත්තන්ගේ ගති ලක්ෂණයකි.

“ශෛලාද’පි කඨොරාණි – මෘදුනි කුසුමාද’පි
ලොකෝත්තරානං චෙතාංසි – කොහී විඥතු මර්හති.”

ගලටත් වඩා දැඩි – මලටත් වඩා මොළකැටි
ලොවුතුරු තුමන්ගේ සිත් – කවරෙක් දනී ද තතු ‍සේ.

හොඳ නරක පෙන්වා දෙමින් නුවණැත්තන් විසින් කරන අවවාද ගෞරවයෙන් පිළිගැනීම සුවච ගුණය යි. කෙනෙකුගේ වරදක් දුටු කල, එක් වරක් කී පමණින් ම සාදර ගෞරවයෙන් එය පිළිගෙන අනුගමනය කරන තැනැත්තා කීකරු පුද්ගලයා වේ. එපමණක් ම නොව ඉතා පහසුවෙන් ම කියන දෙය ඒත්තු ගැන්වීමට පහසු බව ඔහු සතු කැපී පෙනෙන ස්වභාවයකිත එය ම සුවච ගුණයකි. තමන් අතින් සිදු වූ යම් වරදක් අනුකම්පාවෙන් පෙන්වා දෙන තැනැත්තා තමාට නිධානයක් පෙන්වා දෙන්නෙකුට සමාන බව සිතිය යුතු බව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි.
අවවාදය යනු යමෙකු දැන හෝ නොදැන වරදක් සිදු කරන අවස්ථාවේ ම එහි ආදීනව කරුණා මෛත්‍රියෙන් ම පෙන්වා දී එයින් වළක්වා ගැනීමට කටයුතු කිරීම යි. අනුශාසනය යනු වැරදි මග ගමන් කොට මතු අනාගතයේ සිදුවිය හැකි අනතුරකින් කල්මත්තෙන් එයින් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම යි.
යමෙකු තුළ යම් වරදක් හෝ අඩුපාඩුවක් දුටු විට, කරුණා මෛත්‍රිය පෙරදැරිව මේ දෙය කළ යුතු ය. මේ දෙය නොකළ යුතු ය. වරදෙහි ආදීනව මෙන් ම, නිවරදෙහි ගුණාත්මක බව පෙන්වා දුන් විට සතුටින් පිළිගැනීම සුවච ලක්ෂණයකි. එසේ වූ කීකරු පුද්ගලයෝ දෙලොවින් ම දියුණු වෙති. එසේ නැතිව තර්ක විතර්ක කරමින් “මට ගුණ දොස් පෙන්වා දෙන්නට ඔබ කවරෙක් ද? මගේ පියා හෝ මව හෝ සහෝදර-සහොදරියන් හෝ ගුරුවරයෙක්ද නොවේ.” යනුවෙන් ප්‍රශ්න කරයි. කරුණු කාරණා සකාරණාව පැහැදිලි කර දුන් තමන් එකෙණෙහි නිහඩව සතුටු සිතින් පිළිගත් බවක් පෙන්වා පෙර පරිදි ම කටයුතු කිරීම දුර්වච නම් දුර්ගුණය යි.
සත්පුරුෂ උත්තමයෝ තමනට වඩා බාලයකුගෙන් වුවත් අවවාදයක් ලැබුණොත් සතුටු සිතින් තමනට මහත් ලාභයක් සේ සලකා එය දොහොත් මුදුන් දී පිළිගනිති. එකවර ම කීකරු වෙති. තමන්ගෙන් යම් වරදක් වූ විට එය වරදක් ලෙස යමෙකු පෙන්වා දුන් විට එය පෙන්වා දුන් පුද්ගලයාට ද ප්‍රශංසා කොට වරද නිවැරදි කර ගනී නම් එය සුවච පුද්ගලයාගේ ස්වභාවය යි. වැරදීම මිනිස් ගතියකි. එම වරද පිළිගැනීම දේව ගතියකි. ඕනෑම පුහුදුන් පුද්ගලයකු ගෙන් වැරදි සිදුවිය හැකි ය. ලොව ඉන්නා නිවැරදි (සර්වතෝභද්‍ර) එකම පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ය.
“තදහු පබ්බඡි‍තෝ සන්තෝ ජාතියා සත්ත වස්සිකෝ
සෝ ‘පි මා අනුසාසෙය්‍ය සම්පටිච්ඡාමි මුද්ධතා”
සැරියුත් මහ රහතන් වහන්සේ, තමන් වහන්සේ විසින් ම එදාම පැවිදි කළ සත් හැවිරිද සාමණේර නමක් විසින් තමන් වහන්සේ හැදි සිවුරු කොණ බිම ගෑවුණු බව පෙන්වා දුන් විට එතැන ම උක්කුටිකයෙන් හිද දොහොත් මුදුනේ තබා ඇඳිලි බැඳ ගෙන සතුටින් පිළිගත් හ.

නළලෙහි රැළි නොනංවන, රවා බැලීමක් නොකරන, පහසුවෙන් අන් අයට කතා කළහැකි, සතුටු සාමීචි කතා කරන මොළොක් කෙනෙකු වීම මුදු ගුණය යි. දෙමාපිය ගුරුවර වැඩිහිටියන් විසින් කළ අවවාදයක්, පිළිනොගෙන, නොසලකා හැර, නම්‍යශීලී නොවී, දැඩිව, නොඇසුණාක් මෙන් සිට ප්‍රතිචාර නොදක්වා ඊට එකගවන මොළොක් පැවතුම් නැති බව මෘදු ගුණය නොවේ.

කායික ක්‍රියා පමණක් නොව කථා කරන වචන ද මෘදු විය යුතු ය. එනම් කය වචනය දෙකෙහි ගොරෝසු නැතිකම යි. මෘදු මොළොක් වචනය අන්‍යයන්ගේ ප්‍රියමනාප බව මෙන් ම හිතවත්කම ගොඩනගා ගැනීමට උපකාර වේ. එපමණක් නොව අන්‍යයන්ගේ උදව් උපකාර ලබා ගැනීමට ද හේතු වෙයි. මෘදු, ප්‍රිය වචනය තිරිසන් සතුන්ගේ පවා සිත් ඇදගන්නා බව නන්දිවිසාල ජාත‍කයෙන් මොනවට පැහැදිලි වේ.

හොදින් උණුකර ගත් රන් කැබැල්ලකින්, හොදින් පදම් කළ හම හැකි අතකට නමා තමන් කල්පනා කරන විදියට ඕනෑම නිර්මාණයක් කර ගැනීමට සමර්ථ වන්නාක් මෙන් මෘදු මොළොක් ගති ඇති කෙනෙකුගෙන් තමන්ටත්, අනුන්ටත් යහපතක් ම අත් වේ.

මෘදු ගුණය නම් තම නිවසෙහි හෝ වාසය කරන ස්ථානයෙහි ඇති වතාවත් කිරීමෙහි කම්මැලියකු නොවීම යි. තමන්ගේ ගෙදර ඇති කුදු මහත් හැම කටයුත්තක් ම අනතිමානීව, පංගුපේරුවක් නැතිව කිරීමේ හැකියාව යි. භික්ෂූන් වහන්සේට, දෙමාපියන්ට, වැඩිහිටියන්ට, නිසි ගරු බුහුමන් දැක්වීම, ඔවුන්ගේ අවවාද අනුශාසනාවලට අනතිමානීව සවන්දීම හා ඒ අනුසාරයෙන් කටයුතු කිරීම ද මෘදු ගුණය වේ.

නිදිකුම්බා වැල සෙමින් ස්පර්ශ කරන විට සෙමින් හැකිළෙන්නාක් මෙන්, තදින් ස්පර්ශ කරන විට කටු අනින්නාක් මෙන් ක්‍රියා කරන්නාක් මෙන්, එසේම කපටි, කෛරාටික, අසත්පුරුෂයන්ග් දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් විසින් යම් යහපත් ක්‍රියාවක් කිරීමට කරුණාවෙන් උපදෙස් දුන් විට හෝ යම් වදරක් නිවැරදි කර ගන්නා ආකාරයෙන් පෙන්වා දුන් විට එය අනතිමානීව පිළිගෙන ක්‍රියා කිරීමෙන් තමාගේ දෙලොව දියුණුව සැළසෙනවා සේම ඔවුන්ගේ සම්භාවනාවට ද පාත්‍ර වේ. එය ම මෘදු ගුණය වේ.

මානය යනු මැනීම යි. කෙනෙක් තවත් කෙනෙකු හා සසදා ගලපා කරනු ලබන මැනීම යි. මෙහි දී කෙනෙකු තවත් කෙ‍නෙකුගේ සමාජ තත්ත්වය, දැන උගත්කම, රූප සෞන්දර්යය, ආර්ථිකය හා තරාතිරම ආදිය පිළිබදව සලකා බලා තමා සෙසු අයට වඩා උසස් ය යන හැගීම හෝ සමානය යන හැගීම හෝ පහත්ය යන හැගීම මානයේ දැකිය හැකි ප්‍රකට ලක්ෂණ වේ. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන යනුවෙන් දැක්වෙන්නේ එය යි.

මානය ආධ්‍යාත්මයෙන් පැන නගින චිත්ත උපක්කිලේසයකි. එමෙන් ම සංයෝජනයක් මෙන් ම අනුසය ධර්මයකි. අනාදිමත් කාලයක් මුඵල්ලෙහි පැවත එන මෙම මානසංයෝජනයට නැවත කිසිකලෙකත් නූපදනාසේ මුල් සිද නැසීම කළ හැක්කේ අර්හත් මාර්ගයට පත්වීමෙනි.

ත්‍රිවිධ මානය
යමෙකු තමා සතුව බලපවත්වන ආර්ථික දියුණුව, අධ්‍යාපනික දියුණුව, සමාජ පිළිගැනීම, දෙමාපිය දෙපාර්ශවයේ ඇති වත්පොහොසත්කම් කුලීනබව, ලබා ඇති කීර්ති ප්‍රශංසා සැලකිල්ලට ගෙන, සෙසු අය සමග සසදා ගලපා, තමා හැමට වඩා උසස් ය. අන් අය පහත් යැයි සැලකීම සෙය්‍යමාන නම් වෙයි. සමාජයේ සෙසු පිරිස් සතුව ඇති බල පුඵවන්කාරකම්, ආර්ථික ශක්තිය, දැන උගත්කම් හා සමාජ පිළිගැනීම් ආදිය තමා සතුව ද ඇත්තේ ය. එබැවින් අප අතර එකිනෙකා පරයා යන විශේෂ වෙනස්කම් දක්නට නැත. අප සැවොම එක හා සමාන යැයි සෙසු පිරිස් සමග සසදා බැලීම සදිසමාන නම් වෙයි. සමාජයේ වෙසෙන සෙසු පිරිස් සතුව ඇති ධනවත්කම්, කුලවත්කම්, උගත්කම් ආදී විවිධ අංශ ඔස්සේ ඇති හැකියාවන් පිළිබද සැලකිල්ලට ගෙන ඇගැයීම් කොට, තමනට එබදු හැකියාවන් නැතැයි සිතා තම හැකියාවන් අවතක්සේරුවට ලක් කිරීම හීනමාන වේ. නැවත මේ මානය නවවිධ වේ.

  • නවවිධ මානය
  • සෙය්‍ය සෙය්‍යමාන
  • සෙය්‍ය සදිසමාන
  • සෙය්‍ය හීනමාන
  • සදිසසෙය්‍යමාන
  • සදිසසදිස මාන
  • සදිසහීන මාන
  • හීනසෙය්‍ය මාන
  • හීනසදිස මාන
  • හීනහීන මාන
    මානයෙන් මත්වූවෝ උමතු වූවන් මෙන් වියරුවෙන් නොයෙක් පහත් කටයුතුවල යෙදෙන බව “උම්මාදෝ විය දට්ඨබ්බෝ” යන්නෙන් පැහැදිලි ය. එසේම “මා‍නේන මක්ක‍ටෝ හෝති අතිමානේන කුක්කුරෝ” යනුවෙන් දේශනා කළ පරිදි මානයෙන් යුතුව මැරී උපත ලැබූයේ නම් වදුරකු වන බවත්, අතිමානයෙන් යුතුව මැරී උපත ලදුයේ නම් සුනඛයෙකු වන බවත් බුද්ධදේශනාවයි.
    නිහතමානි හා අනතිමානී
    රහතන් වහන්සේ සැබවින් ම නිහතමානි උතුමෙකි. නිහතමානී යනු සියලු කෙලෙසුන් නැසූ උතුමෙකි. පුහුදුන් පුද්ගලයන් හැදින්වීම සදහා නිහතමානී යන වචනය යෙදුවත්, අර්ථය විමසා බැලීමේ දී එම යෙදුම කිසිසේත් සුදුසු නොවේ. අනතිමානී, න – අතිමානී – යනු මානය බහුල වශයෙන් නැතිකමයි. මානය ඇති නමුත් උනන්දුවෙන් උත්සාහයෙන් යටපත් කළ තැනැත්තා ය. වර්තමානයේ පුහුදුන් පුද්ගලයන්ගේ ගති ස්වභාවයන් පැහැදිලි කිරීම සදහා මෙම වචන දෙක ම විශේෂත්වයකින් තොරව භාවිතයේ යොදා ගන්නා බවක් දක්නට ඇත. මානය යන වචනය යටතට උඩගුකම, අහංකාරය අයත් වන්නා සේ, නිහතමානීකම, අනතිමානී ගුණය ද සැමට පොදු වූ යහපත් ගුණයක් වශයෙන් පිළිගැනීමට පාත්‍රව ඇත.

බුදුහාමුදුරුවෝ කරණීයමෙත්ත සූත්‍රය දේශනා කළේ භික්ෂූන්ට ය. එහෙත් මෙම දේශනාව භික්ෂූන්ට පමණක් නොව ගිහියන්ටත් සුදුසු ය. උදාහරණ ලෙස භික්ෂූන් වහන්සේලා ලැබුණු සිව්පසයෙන් සෑහීමට පත්විය යුතු ය. චීවරය අවශ්‍ය වන්නේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාවට ශරීරය ආවරණය කර ගැනීමට, සීතලෙන් උෂ්ණත්වයෙන් ආරක්ෂාව සදහාය. එසේම ගිහි අයටත් ඇදුම් අවශ්‍ය වන්නේ ශරීරයේ ආරක්ෂාවය, සීතලෙන් උෂ්ණත්වයෙන් ශරීරයට හානියක් නොවීමටය.

එසේ නොමැතිව අනවශ්‍ය ලෙස ඇදුම් පැළදුම් වලට අධික වියදම් දැරීමෙන් තෘප්තියක් ඇති නොවේ. වර්තමාන ලෝකයේ ආර්ථිකය රදා පැවැත්වීමට කරනු ලබන්නේ පසිදුරන් පිනවීම සදහා අතෘප්තිකර ආශාවන් ඇති කිරීම යි. මෙහි දුර්විපාක පෙනි පෙනී ඒ මාර්ගයේ ම යෑම හේතුවෙන් ධරණීය ආර්ථිකයක් ගැන කතා කරයි. ජගත් සම්මන්ත්‍රණ ද පවත්වයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ උට්ඨාන විර්යයෙන් ක්‍රියා කොට උපරිම ලෙස තම ආර්ථිකය දියුණු කර ගැනීම හා ලැබෙන දෙයින් සෑහීමකට පත්වීමයි. බුදුදහමේ සදහන් සංතෘෂ්ටිය පිළිබද හරි අවබෝධයක් නොමැතිව රටක සංවර්ධනයට මේ බෞද්ධ න්‍යාය වැරදි ලෙස විවේදනය කරනු ලබයි. ආර්ථික දියුණුවට සන්තෘෂ්ටිය හෙවත් ලද දෙයින් සතුටුවීම බාධාවක් නොවන බව වටහාගත යුතු යි. සෑම දෙනාට තෙරුවන් සරණයි.

කරණීයමෙත්ත සූත්‍රයේ නිවන් අවබෝධය සදහා උනන්දු වන යෝගාවචරයාට තිබිය යුතු 09 වන ගුණය වන්නේ අප්පකිච්ච නොහොත් කාර්ය බහුලත්වයෙන් මිදුන බව ය. මරණය කොයි මොහොතේ කොයි ආකාරයට සිදුවේ දැයි නොදන්නා හෙයින් සෑම මොහොතක් ම තම අධ්‍යාත්මක අරමුණු ඉටු කරගැනීමට යුහුසුඵ විය යුතු බව පැවිද්දන්ට දුන් අවවාදය යි. බහුකිච්ච හෙවත් වැඩ බහුල කර ගැනීම ඊට බාධාවක් වනු ඇත. කදිම උදාහරණයක් මහාපරිනිබ්බාන සූත්‍රයෙන් ලබාගත හැකි ය. පිරිනිවන් මඤ්චකයේ දී ආනන්ද ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ වගකීමක් ලෙසට, විවිධ කරුණු පිළිබද අවසන් වශයෙන් උපදෙස් බුදුරජාණන් වහන්සේගෙන් ලබාගත්හ.

පිරිනිවන් පෑ විට කුමක් කළයුතු දැයි ඇසූ විට මල්ල රජවරැන් ඇතුඵ ක්ෂත්‍රිය බ්‍රහ්මණයන් නිසි කටයුතු කරනු ඇතැයි ද ඔබ වහන්සේට ඇත්තේ තමන් මහණ වූ කාරිය ඉටු කරගැනීමට යුහුසුඵ වීම බව වදාරා ඇත.

පුද්ගලයකු හෝ වේවා සමාජයක් හෝ වේවා රටක් හෝ වේවා සිය අරමුණු දැන ඊට ප්‍රමුඛත්වය දෙමින් සෑම විට ම ක්‍රියා කළ යුතු ය. දරාගත හැකි පමණට කටයුතු කිරීම හා වගකීම් දැරීම වැදගත් ය. ආයතනයක කටයුතු කිරීමේ දී පවා සියලු ම වැඩ තමන් විසින් ම කළයුතු යැයි සිතා වගකීම් බෙදා නොදීමෙන් පුද්ගලයාට මෙන් ම ආයතනයට ද හානිදායක විය හැකි ය. එවිට අරමුණු ඉටුකර ගැනීම වෙනුවට අවුල් සහගත තත්ත්වයන් මතුවිය හැකි ය.

ලො‍්කෝත්තර මෙන් ම ලෞකික වශයෙන් ද සිය අරමුණු ඉටු කර ගැනීමේ ද සතිසම්පජඤ්ඤයෙන් අප්පකිච්ච ව වැඩ කිරීමට පුරුදු වෙමි. සියලු දෙනාට ම යහපතක් ම වේවා.

සැහැල්ලු සරළ පැවැත්මක් නම් වූ විශේෂ ගුණාංගය භික්ෂූන් වහන්සේලාට පමණක් නොව කොයි කාටත් ජීවිතය සාර්ථකව පවත්වාගෙන යෑමට වැදගත් වේ. සැහැල්ලු පැවැත්ම සැනසීමට හේතුවකි. පස්කම් සැප අනුභව කළත් ප්‍රමාණය සැලකිල්ලට ගෙන තමන්ගේ සැහැල්ලු පැවැත්මට අවශ්‍ය ආකාරය තේරුම්ගෙන අනුභව කිරීම සුදුසු බවයි මෙහි සාමාන්‍ය අදහස. කළයුතු කටයුතු කාර්ය බහුලත්වයෙන් මිදී අවශ්‍යම කාර්යය සරළව සැහැල්ලුව ක්‍රියාත්මකව පවත්වාගෙන යෑමට කවුරුත් කටයුතු කළයුතුව ඇත. සියලු දෙනාට යහපත සැලසේවා.

මෙහි සරළ තේරුම නම් සන්සුන් ඉදුරන් බව, සංවර බව, දැමුණු තැවුනු, නිවුනු ඉදුරන් ඇති බව යි. අතිෂ්ඨාරම්මනයෙන් පසිදුරන්ට ගොදුරු වූ විට ඇලීම බැදීම නිසා එය ලබා ගැනීමට උත්සාහවත් වේ. එවිට සංවර බව නැතිවේ. නොඇලී මධ්‍යස්ථව සිටීම සන්තින්ද්‍රියෝච වේ. සන්සුන් ඉදුරන් ඇතිව නිවන් මග යා යුතුව ඇත. සැමට සියලු යහපත සැලසේවා.

මෙහි සාමාන්‍ය අදහස ස්ථානෝචිත ප්‍රඥ්‍රාව හෙවත් ස්ථානයට/තැනට උචිත නුවණ යන්නයි. කරණීයමෙත්ත සූත්‍රය බුදුපියාණන් වහන්සේ දේශනා කළේ භික්ෂූන් වහන්සේලාට බව කවුරුත් දන්නා කරුණක්. අරණ්‍යගතෝව හෝ රුක්ඛමූලගතෝව හෝ සුඤ්ඤාගාරග‍තෝව හෝ භික්ෂුවක් සිටිනා විට යම් අවස්ථාවකට මුහුණපාන්නට සිදුවුවහොත් ඊට උචිත පරිදි නුවණින් ක්‍රියා කිරීම අවශ්‍යය. එය නිසජයෙන් ම ඇති වන්නක් නොවේ. ඒ සදහා විවිධ නිපුණතා වර්ධනය කර තිබීම වැදගත් වේ. අට්ඨකථා අනුව චීවරය, සිවුපසය ආදිය ගැන විනයානුකූලව ක්‍රියා කිරීමට දැනුමක් තිබිය යුතු ය. භාවනා කරන විට සිත දියුණු කිරීමයි සිදුවන්නේ. එවැනි අවස්ථාවල තමන්ගේ සිතුවිලි නිසි මාර්ගයේ ගෙනයෑමට නිපක ප්‍රඥාව අවශ්‍ය වනු ඇත.

මේ ගුණය භික්ෂූන්ට පමණක් නොව ගිහි අයට ද ඉතා වැදගත් ය. ස්ථානෝචිතව, මනාව කරුණු දැනගෙන, අදාළ පුහුණුවක් හා අවබෝධයක් ඇතිව සිය කාර්යයන් සිදු කළ යුතු ය.

කුඩා ළමයකු ළමා අවදියේ දී ප්‍රශ්නයක් ඇති වූ විට බොහෝ විට කරන්නේ ඇඩීම යි. ඒ අත්දැකිම් අඩුකම නිසයි. එහෙත් මුහුකුරා ගිය විට ඒ වෙනුවට තම අත්දැකිම් අනුව කටයුතු කරනවි. ක්ෂණයකින් ප්‍රශ්නයක නියම ස්වභාවය වටහා ගෙන තැනට අවශ්‍ය ප්‍රතිකර්මය කරනු ලබනවා. එසේ නොවීම හේතුවෙනුයි බොහෝ ප්‍රශ්න හෝ ගැටලු ඇතිවන්නේ හෝ ඇතිකර ගන්නේ. නිශ්ශබ්දව සිටිය යුතු තැනට කථාව‍ හොද නැත. කථාව අවශ්‍ය තැනට නිශ්ශබ්දතාවය හොද නැත. නිපක ප්‍රඥාව ප්‍රගුණ කර ගැනීම සදහා අත්දැකීම් වැදගත්. හැමවිට ම කල්පනා කර ක්‍රියා කිරීම අවශ්‍ය ය. එසේ නොකිරීමේ දුර්විපාක බුදුරජාණන් වහන්සේ දැනසිටි නිසා ‍”නිපක අස්ස” යන්නෙන් තැනට උවමනා නුවණේ වැදගත්කම උගන්වා තිබේ. කරණීයමෙත්ත සූත්‍රය ජීවිතය සාර්ථක කර ගැනීමට හැමවිට ම යොදාගත යුතු වටිනා සූත්‍ර දේශනා රත්නයක් ලෙස සැලකීම වටී. සැමට ඒ තුළින් යහපතක් ම උදා වේවා.

දායකයන් තුල හෝ ජනතාව කෙරෙහි හෝ කිසිම අයකු කෙරෙහි නොඇලෙමින් වැඩි සබදතාවන් වැඩි ඇල්මක් නොපැවැත්විය යුතු බව යි.

මෙහි අදහස වැඩි විශ්වාසය හිතවත්කම හේතුවෙන් නොදැනුවත්වම තමන්ට හානියක් සිදුවිය හැකි ය. පුද්ගලයෙකුට නින්දේදී, විවිධ වැඩකටයුතුවලදී, අනවශ්‍ය කථා වැඩි වී හැම විටම පිරිස සමග ගැටී රංචු ගැසී කථා කර සිටීම යන කරුණු නිසා පුද්ගලයා පරිහානියට පත්වනබව යි. බුදුපියාණන් වහන්සේ භික්ෂූන්ට මතක් කළේ අනුශාසනා කළේ දායකයන් පොදු ජනතාව ඇසුරු කරන විට චන්ද්‍රයා වාගේ විය යුතු බව යි. උන්වහන්සේගේ අනුශාසනාවේ අදහස චන්ද්‍රයා රජමැදුරට සමානව ම ආලෝකය ලබාදෙන බව යි.

දායක දායිකාවන් ඇසුරු කරන විට චන්ද්‍රයා සමානව ක්‍රියා කරන්න කීවා. මහරහතන් වහන්සේ නමක් වන තිස්ස හාමුදුරුවෝ වසර ගණනාවක් ගමකට පිණ්ඩපාතයේ වැඩියා. උන්වහන්සේ මැණික් කර්මාන්තයේ යෙදෙන අයකුගේ නිවසට‍ වැඩි වාරගණනක් වැඩම කරනු ලැබූහ. එසේ වැඩම කරනු ලැබූ දිනෙක මැණික් කපන නිවැසියා දානය රැගෙන එන්නට ගේ තුළට ගිය අවස්ථාවේ එතැනට පැමිණි කුරුල්ලෙකු එහි තිබූ මැණිකක් ගිලා දැම්මා.

මේ ගැන මැණික් කපන පුද්ගලයා ස්වාමීන් වහන්සේ සැක කළා. එනිසා උන්වහන්සේට අනපේක්ෂිත කරදරයකට පත්වන්නට සිදු වුනා. පසුව නියම තත්ත්වය දැන ගන්නට ලැබුණත් මෙම සිද්ධිය අපට උගන්වන්නේ ඉහත බුද්ධ වචනයේ සැබෑ තත්ත්වයයි. වැඩි ලබැදියාව හිරිහැරයට දුකට හේතුවක් බව යි. සියලු දෙනාටම මෙම ධර්ම කරුණු සියලු යහපත සදහා හේතු වේවා. 

මෛත්‍රී වඩන පිළිවෙළ මේ ගාථාව මගින් පෙන්වා දී ඇත. ගැඹුරින් ම එය පෙන්වයි. මෙමගින් මෙත් වැඩීම සදහා රහතුන් වහන්සේ සිට ඉපදීමට සිටින සත්ත්වයෝ අරමුණු වේ. මෙහි සදහන් අයට මෙත් වඩන විට සියලු සත්ත්වයෝ නිර්භය වෙත්වා. සියලු සත්ත්වයෝ සුවසේ වෙසෙත්වා. මානසිකව සුවපත් වෙත්වා යි ප්‍රාර්ථනා කෙරේ.

තසාවා කෙලෙස් සහිත සත්ත්වයන් වෙත  ථාවරා වා කෙලෙස් ප්‍රහීණ කළ සත්ත්වයන් වෙත දීර්ඝ ශරීරයක් ඇති නයි, පොළගුන් වැනි සත්ත්වයන්, මහත් ශරීරයක් ඇති අලි ඇතුන් වැනි සත්ත්වයන් මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති අය අදහස් කෙරේ.

අනුක-මිටි ශරීර, ඇසට නොපෙනෙන යන අදහස් දැක්වෙන අතර ථූලා යනුවෙන් වටකුරු, මහත, මිටි යන අදහස ඇති කෙරේ. මෙම සත්ත්ව කොට්ඨාශ වෙත බලා භය නැත්තෝ වෙත්වා. සැනසිල්ල ලබත්වා කියා වෙත් වඩන පිළිවෙළ මෙම ගාථාවේ කරුණුවලින් පැහැදිලි කර දෙනවා. මේ අනුපිළිවෙලට ගෙන‍ මෙම සත්ත්ව කොට්ඨාශවලට මෛත්‍රී වැඩීම කළයුතු බවයි බුද්ධ දේශනාව අපට උගන්වන්නේ. හැමට සියලු යහපත සැලසේවා.

දිට්ඨා                            – ඇසට පෙනෙන සත්ත්වයෝ ද

අදිට්ඨා                          – ඇසට නොපෙනෙන සත්ත්වයෝ ද     

දූරේ                              – දුර වසන සත්ත්වයෝ ද

අවිදූරේ                         – ළග වසන සත්ත්වයෝ ද

භූතා                             – උපන් සත්ත්වයෝ ද

සම්භවේසී                     – ඉපදීමට සිටින සත්ත්වයෝ ද

සබ්බේ සත්තා               – සියලු සත්ත්වයෝ ද

සුඛිතත්තා භවන්තු         – සතුටු සිත් ඇත්තෝ වෙත්වා!

අපි සෑම කෙනෙක් ම කරණීයමෙත්ත සූත්‍රය අනුව මෛත්‍රී භාවනාවට යොමු වී සිටී. තමා මෛත්‍රී වඩන විට ප්‍රථමයෙන් තමාටයි මෛත්‍රී වඩන්නේ. තමාට යම් අසනීපයක් ඇත්නම් සුවපත් වේවායි පැතූ පමණින් එසේ නොවනු ඇත. සුවපත් වේවා යන්න ධනාත්මක චින්තනයක් පමණි. ඒ සදහා තම තමාගේ සෞඛ්‍ය තත්ත්වය හදුනාගෙන ඊට සරිලන ආකාරයට ජීවන පැවැත්ම වෙනස් කරගත යුතු ය. වයසට යෑම, ජරාවට පත්වීම, මරණය ඉපදුණු සෑම සත්ත්වයෙකුට ම සිදුවන්නක්. එක් එක් අයට තිබෙන රෝගාබාධ විවිධයි. එනිසා තමා විසින් ම තමා පාලනය කර ගැනීම කළයුතු වෙනවා. තමාගේ පැතුම් ක්‍රියාවට නැංවීම තමාගේ වගකීමක්.

මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ ගත යුතු ය. දුර්ලභංච මනුස්සත්තං, අපි ආවෙ කොහෙන්ද දන්නෙ නෑ. අපි නැවත කොහේ යනවද දන්නෙ නෑ. අපට ලැබී ඇති මනුෂ්‍ය ජීවිතය ඉතාම දුර්ලභ එකක්. එහෙයින් බුද්ධ දේශනාව වූයේ අප්‍රමාදීව කටයුතු කර ගන්නා ලෙසයි. කාලය මදිය කියා කිසිවක් පස්සට දමන්න හිතන්න එපා. බුදුහාමුදුරුවන්ටත් අපටත් තිබෙන්නෙ දවසට පැය 24 ක් පමණයි. එම කාලය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට උත්සාහවත් විය යුතු ය. ලොව ජීවත්වන විට විවිධ අභියෝග වලට මුහුණදීමට සිදු වේ.

මව් තොමෝ යම් සේ ඉතා උත්සාහයෙන් හා ස්නේහයෙන් ස්වකීය එක ම පුත්‍රයා රකී ද, මෙසේ ම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වැඩිය යුත්තේ ය යන්න එහි තෙරුමයි.

එකම දරුවා කෙරෙහි මවකගේ ඇත්තේ ප්‍රමාණ කළ නොහැකි දයාවකු යි. කරුණාවකු යි. මෛත්‍රී සිතකු යි. සැමවිට ම සිතන්නේ ඒ ළමයා‍ගේ ආරක්ෂාව හා අභිවෘද්ධිය පිළිබදව යි. වචනයෙන් ද ක්‍රියාවෙන් ද අපරිමාණ වූ සීමාවක් නොවන්නා වූ යහපතක් ම වේවා යන සිතිවිල්ල යි. කරුණාවන්ත හදවතක් ඇති මවකගේ එම සිතිවිලි ගලාගෙන යන්නක්. ඊට උපමා කළ හැක්කක් නැත. මෛත්‍රිය වැඩීමේ දී අපගේ සිත් වැඩිය යුත්තේ ද ඒ ආකාරයට ය.

පෙළෙහි මෛත්‍රී වැඩීම වැඩි වශයෙන් සදහන් ව ඇත්තේ ඒ ආකාරයට සියලු සත්ත්වයන්ට බෙදීමක් නොමැතිව වැඩීම යි.  මෙම සූත්‍රයේ ම මුල් කොටසේ ඇත්තේ ඒ ආකාරයට මෙත් වැඩීමේ ක්‍රමවේදයකුයි. කෙලෙස් සහිත හා කෙලෙස් රහිත සත්වයන් ද දික්, මහත්, මධ්‍යම ප්‍රමාණයේ, ඉතා කුඩා ඇසට නොපෙනෙන සත්වයන් ද පෙනෙන නොපෙනෙන සත්වයන් ද දුර හා ළග සිටින සත්වයන් ද, හටගත් හා හට ගැනීමට ඇති සත්වයන් ද වශයෙන් සියලු ම සත්වයන් කෙරෙහි ම මෙත් වැඩීම කරන සේ අනුදැන වදාළා ඇත.

මෙය අප දැන් මෙත් වඩන ක්‍රමයට වඩා ටිකක් වෙනස් ය. පළමුව තමාටත් ඉන් අනතුරුව හිතවත්, මධ්‍යස්ථ හා වෛරී සත්වයන්ටත් මෙත් වැඩීම අප පුරුදු කරන ක්‍රමය යි. අපරිමාණ ලෙසින් ම මෙත් වැඩීම වඩා ඵලදායි වේ. උදාහරණයක් ලෙස කොළඹ සිට අම්පාර නගරයට ගුවනින් හෝ මහා මාර්ගයෙන් යනවිට බාධක වැඩිය. ගුවනින් යනවිට එසේ නොමැත. දුරස්ථව ගම් බිම් රථවාහන ආදිය පෙනුනත් එම ස්ථානවල නතරවීමක් නැත. දස දිශා වශයෙන් මෙත් සිත් පැතිරවීමෙන් එම ප්‍රතිඵලය ද ලැබේ. සිතා බලන්න. සියලු දෙනාගේ ම මෙත් සිත් අපරිමාණ ලෙස වැ‍ඩෙත්වා.

මෙත් වැඩීමේ දී පළමුව තමාටත්, ඉන්පසුව තමාට හිතවත්, තමාට මැදහත්, තමාට අහිතවත් යනාදී වශයෙන් මෛත්‍රී සිත වැඩීමට අප පුරුදුව ඇත. එහෙත් බුදුරජාණන් වහන්සේ මෙත් වැඩීමට අනුදැන වදාළ අවස්ථාවන්හි ‍ මට හිතවත්, මට මැදහත්, මට අහිතවත් ලෙස තමා මුල් කොට බෙදීමක් කර ඇති බවට මුල් පෙළ පොත්හි දක්නට නැත. කරණීයමෙත්ත සූත්‍රයේ ඇත්තේ (1) ආර්ය-අනාර්ය-අවශේෂ ලෙසට (2) දික්-මහත්-මධ්‍යම-කුඩා-අනුක-තරබාරු ලෙසට (3) පෙනෙන-නොපෙනෙන ලෙසට (4) දුර-ළග ලෙසට (5) හටගත් හා හට ගැනීමට ඇති ලෙසට සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත් වැඩීම යි. සංයුත්ත නිකායේ බන්ධ සූත්‍රයේ ඇත්තේ පා නැති-දෙපා ඇති-සිවු පා ඇති-බොහෝ පා ඇති අයවලුන් ලෙසට සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත් වැඩීම යි. ඉහත බෙදීම මම පදනම්ව නොවේ. එසේ මම පදනම්ව බෙදීමක් නැති කොට අපරිමාණ වූ මෙත් සිත වැඩීම වඩා පහසු වේ යැයි කිව හැකි ය. එනිසා තමා සාක්ෂියට තබා තබා සියලු සත්වයන් කෙරෙහි ම එක සේ මෛත්‍රී සිත පතුරුවාලීමට පුරුදු පුහුණුවීම ඵලදායි වනු ඇත. මෛත්‍රිය යන්නට මිත්‍රත්ව යැයි අර්ථය දැක්වීමෙන් වැඩිය යුතු මෙත් සිතෙහි පටුවීමක් සිදුව ඇත.

අප කවුරුත් සැපතට කැමති ය. එනිසා සැමට ම එය පතුරුවන්න. අප කවුරුත් ජීවිතයට කැමතිය. එසේම සියලු සත්වයෝ තම තමන්ගේ ජීවිතවලට කැමති ය. මෙසේ නිතර ම තමා උපමා කරගෙන අන් අයටත් එසේම වේවා යන මෛත්‍රී සිතිවිල්ල ඇති කර ගැනීමට පුරුදු වන්න. තමා පදනම් කොට බෙදීමක් ඇති නොවන පරිදි මුඵ ලෝක සත්වයාට ම මෛත්‍රී සිත පතුරුවන්න පුරුදු වෙමු. එම මෙත් සිත උඩ යට හා තිරස්ව කිසිම බාධාවක් නොමැතිව, කිසිම වෛරී සිතක් හෝ සතුරු සිතක් හෝ නොමැතිව, පැතිරවීමට පුරුදු කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වරාදා ඇත. මේ ආකාරයට අප්‍රමාණව (අපරිමාණ ලෙස) මෙත් සිත වැඩීමෙන් තමාගේ සිතෙහි මෛත්‍රිය පදනම් වූ චිත්ත විමුක්තියක්  හට ගැනේ. සැමට තෙරුවන් සරණයි.

  • කරණීයමෙත්ත සූත්‍රයේ හැම ගාථාවක් ම අර්ථවත්. මෙම සූත්‍රය හැමදෙනා ම දන්නා සූත්‍රයක්. ජීවිතය ඒ අනුව හැඩ ගස්වා ගතයුතු වෙනවා. ශාන්ත පදය කැමති සෑම කෙනෙක් ම එහි සදහන් කරුණු 14 ක් වැඩිය යුතුයි. ඒවා එකින් එක අප ජීවිතය හා සම්බන්ධ කරගත යුතුයි. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මෙම කරුණු ඉතාමත් ම වැදගත්. 15 කරුණ අකරණීය ධර්මයකි. යම්කිසි දෙයක් වරදක් යයි සිතන්නේ නම් එය නොකළ යුතුයි. කයින් වචනයෙන් හා මනසින් වැරදි නොවන තත්ත්වයකට වැඩිය යුතු වේ. අද දිනට අවධානය යොමු කරන ගාථාව මෙසේ ය.

    තිට්ඨං චරං නිසින්නෝ
    වා
    සයානෝවා යාව තස්ස විගත මිද්ධො
    ඒතං සතිං අදිට්ඨෙය්‍ය
    බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු

    මෙම කරුණට අප වැඩි අවධානයක් යොමු කරන්නෙ නැහැ. අප පුරුදුව සිටින්නේ මිනිත්තු කිහිපයක් හෝ ඊට වැඩි කාලයක් මෛත්‍රී සිත් වැඩීමටයි. එතැනින් නොනැවතී අවදි වූ වේලාවේ සිට නින්දට යනතුරු මෛත්‍රී සහගත සිතින් කටයුතු කිරීමයි අවශ්‍යව ඇත්තේ. මෛත්‍රී සහගතව ජීවත්වීම බ්‍රහ්ම විහරණයක්. එනම් හිටගෙන සිටින විට, ඇවිදින, ඉදගෙන සිටින, නිදියන යන සතර ඉරියව්වේ දීම අවදිව සිටින තාක් මෛත්‍රී සිතින් කටයුතු කළයුතු වෙනවා. ඉහත ගාථාවේ උගැන්වෙන කරුණු අපගේ ජීවිතයට සම්බන්ධ කරගෙන අපගේ ජීවිතය අර්ථවත් එකක් කර ගනිමු. ජීවිතය සාර්ථක වන්නේ ඒ අයුරුයි. සැමදෙනාට ම ඒ සදහා ආශිර්වාද කරමි.