ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ….

posted in: Projects | 0

dharmavijaya-foundationඅග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මාර්ගො‍්පදේශකත්වය යටතේ 1977 වර්ෂයේ දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් සංස්ථාපිත කරන ලදී. එය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

මෙම පදනමට කරනු ලබන සියලු මුල්‍යාධාර ආදායම් බද්දෙන් නිදහස් වේ. ධර්මවිජය පදනමේ පොදු පරමාර්ථ වන්නේ බෞද්ධ ප්‍රතිපත්ති මත ආර්ථික සාරධර්ම පදනම්ව සංවර්ධනය සදහා යොදා ගැනීමෙන් මිනිසාගේ අධ්‍යාත්මික හා කායික වශයෙන් වූ පූර්ණ වර්ධනයක් ඇති කොට ඒ මගින් ධර්මවිජය සමාජයක් බිහි කිරීමට කටයුතු කිරීම ය. සමවායො එව සාධු – සමගිය ම යහපති යන්න අපගේ ආදර්ශ පාඨය යි.

දිළිදු ගම් නගා සිටුවීමේ වැඩසටහන

කිසිසේත්ම අන්‍යයන්ගේ උපකාරයක් නො ලබා, හිස එසවිය නොහැකි ගමක් තෝරාගෙන, එම ගම පූර්ණ සංවර්ධනයක් කරා ගෙන යෑම ධර්මවිජය පදනමේ ග්‍රාමීය සංවර්ධන වැඩසටහනයි.

අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන් වහන්සේගේ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන සංකල්පය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

ක්‍රමවේදය

දිළිදු ගමක් තෝරගෙන, පළමුවෙන් ම ගමේ සියලු පවුල් පිළිබද සමීක්ෂණයකින් සමාජ හා ආර්ථික තොරතුරු රැස්කර ඒ අනුව එම ගමට අනුරූපී සංවර්ධන සැලැස්මක් ගමේ ජනතාවගේ ද සහභාගිත්වයෙන් සකස් කර ප්‍රමුඛතා අනුපිළීවෙලින් සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කරන අතර, ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබේ. සංවර්ධන කටයුතු හැකි තරම් ගමේ ජනතාවගේ ම සහභාගිත්වයෙන් සිදු වේ. විහාරස්ථානයේ පිහිටුවන ධර්මවිජය සමාජයේ සාමාජික සාමාජිකාවන් වැඩසටහනේ ක්‍රියාකාරීන් වේ. විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ධර්මවිජය සමාජයේ නිලධාරීන් මූල්‍ය පාලනය සිදු කරයි.

ධර්මවිජය සමාජය යනු කුමක්ද?

දිවයිනේ විහාරස්ථාන 466 ක දහම් පාසල් දරු දැරියන්, ගුරුවරුන් හා දෙමාපියන් මුල් වී විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සහභාගිත්වයෙන් ධර්මවිජය සමාජ පිහිටුවනු ලැබේ. ධර්මවිජය පදනම දහම් පාසල් වර්ධනය ඇතුඵ ගමේ සියලු සංවර්ධන කටයුතු කරන්නේ ධර්මවිජය සමාජය මුල්කරගෙනය.

සංවර්ධනය කළ ගමක්?

ග්‍රාම සංවර්ධන වැඩසටහනකට නිදසුනක් වශයෙන් තබ්බෝව පැනසිහගම ග්‍රාම සංවර්ධන වැඩ සටහන දැක්විය හැකි ය.
පුත්තලම අනුරාධපුර පාරේ 7 කණුව තබ්බෝව පැනසිහගම මහින්දාරාම ධර්මවිජය සමාජයේ විහාරාධිපති පූජ්‍ය වල්පොල මහින්ද ස්වාමීන් වහන්සේගේ අධීක්ෂණයෙන් ගමේ පවුල් 63 ක ආර්ථික සවිබල ගැන්වීමත් සදාචාර බෞද්ධ සමාජයක් ලෙස ගම වර්ධනය කිරීමත් අරමුණ විය.

ක්ෂේත්‍ර සමීක්ෂණය අනුව නිවාස 50 ක් සංවර්ධනය කිරීම, අස්ථිර වහලක් වෙනුවට ස්ථිර වහලක් ලබාදීම, කුඩා දරුවන් හා තරුණියන් සිටින නිවාස 13 කට දොර ජනෙල් සපයා ආරක්ෂාව සැලසීම, අතු ආවරණය කළ නිවාස 17 කට ස්ථිර බිත්ති ලබාදීම, මැටි බිම තිබූ නිවාස 17 කට සිමෙන්ති දමාදීම, අක්ෂි රෝගීන් තෝරා ප්‍රතිකාර කිරීම, වෘත්තිය පුහුණුවට සුදුසු සිසුන් වෘත්තිය පුහුණුව ලබාදීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් 35 කට දහම් පාසල් ඇදුම්, පොත්පත් හා ගුරුවරු ලබාදී දහම් පාසල ආරම්භ කිරීම, ඉංග්‍රිසි පන්ති අරඹා දරුවන් 35 දෙනෙකුට නොමිලේ ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදීම, වැසිකිළි 16 ක් සංවර්ධනය කිරීම, රුපියල් ලක්ෂ තුනක් වැය කොට නළ ළිදක් ඉදිකර ජල ප්‍රශ්නය විසදීම. රෝගීන් 23 ක් පරීක්ෂාවට ලක් කිරීම, ධර්ම ශාලාවක් හා සංඝාවාසයක් ඇතුඵ දෙමහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 37 ක් වියදම් කර විහාරස්ථානය සංවර්ධනය කිරීම වැනි කටයුතු රාශියක් සිදු කෙරිණ.

ගමේ සංවර්ධනය සදහා මුඵ වියදම රුපියල් ලක්ෂ 60 ක් පමණ විය. ගමේ තිබූ දිළිදුකම කොතරම් ද යත් පවුල් 18 ක් තම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට දානය දීමට පවා අපහසු බව මුලින් කියා සිටියහ. පවුල් 18 ක් ණය හා උකසට බැදී සිටියහ. ස්ථිර ආදායම් මාර්ගයක් සැලසීම සදහා ගමේ පවුල් අතර දොඩම් සහ දෙඵම් පැල 1000 ක් පමණ බෙදා දී පළතුරු වගාවෙන් ස්ථිර ආදායම් ලබා ගැනීමට මෙම ගමම යොමු කරන ලදී. වෘත්තිය හැකියාව ඇති තරුණියන්ට මහන මැෂින් හා රෙදි ගැනීමට මුදල් සැපයීය. ආර්ථිකය සවිබල ගැන්වෙන අතරේ අධ්‍යාත්මික වර්ධනය සදහා විහාරස්ථානය මුල්කර ගනිමින් දහම් පාසල වර්ධනය කිරීම, සීල භාවනා වැඩසටහන්, ධර්ම දේශනා මගින් ධර්මයට යොමු කෙරිණ.

මොණරාගල මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මවිජය සමාජය විසින් ගමේ සමීක්ෂණයක් කර මූලික වශයෙන් එක් එක් පවුලේ ආදායම වැඩිකර ගැනීම සදහා අවශ්‍ය ගොවි උපකරණ හා අනිකුත් අවශ්‍යතාවන් හදුනා ගැනිණ. ඊට වතුර පොම්ප, වී පාහින යන්තු, වතුර නල, ටෙන්ටි රෙදි, කෘමිනාශක ඉසින යන්ත්‍ර, විදුලි පන්දම්, ගොයම් මැඩීම සදහා කැන්වස් රෙදි, කැති, පොරෝ, උදඵ, යකඩ ඉනි, බයිසිකල්, ලන්තෑරුම්, සෙවිලි තහඩු වැනි සියලු දේ ඇතුළත් විය. මුඵ වියදම රුපියල් ලක්ෂ දහයක් විය. ඔවුන්ගේ කෘෂි ආර්ථික වර්ධනය සදහා අවශ්‍ය සියලු දෑ ලබාදෙන ලදී.

දිළිදු කමින් මිරිකී
කෙළින් සිටගත
නොහැකි කෙනෙකුට
කිහිලිකරුවක් වීමට
ඔබට හැකිනම්,
එයම ඔබගේ
දෙලොව දිනුම යි.